Pages

Sandumal

Sandumal

Friday, March 14, 2014

•පාළුව දෙවනත් කරලා නාඬන් උලලේනෝ

"උඹටත් එක්කයි මං පැල් කවිය කියන්නේ..."






දුර ඈත කවදා හෝ මේ ගීතය ඇසුණා මට මතක . පාළු රාත්‍රියක ගුවන්විදුලියෙනි. ගීතයක ගැඹුර, අරුත වටහාගත හැකි වයසක එකල මම නොසිටියෙමි. එහෙත් පාළු හුදෙකලා බවකින් මගේ මනස වෙලී ගියා මට මතකය. තනුව හා ගායනය නිසා මිස අරුත නිසා නොවේ. උලලේනෝ යන යෙදුම කපුගේ සතු නාසික්‍ය හඬ ඔස්සේ ඇද පැද ගයන අයුරු අනුකරණය කරමින් මම මේ ගීතය රසවින්දෙමි.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ නික/පොන්නිලව මිශ්‍ර පාසලේ ගුරු නිවාසය මට තාමත් මතක . මගේ පියා හා මව නවාතැන්ගෙන සිටි ගුරු නිවාසය පිටුපස විශාල කැලයකි. මැදියම් රෑ කැළෑව මැදින් මතුවී එන උලලේනා ගේ හඬ මට තාමත් මතක . මා බියගන්වන, ඒ විලාපය රසයක් බවට පත් කරගනිමින් මම ටිකින් ටික මේ ගීතයට සමීප වීමි. එහෙත් මේ ගීතයට මූලික වූ අනුභූතිය පිළිබඳ මට අසන්නට ලැබෙන්නේ ඊට බොහෝ කලකට පසු .

ශ්‍රී ලංකාවේ පළමු තරුණ නැඟිටීම ලෙස සැලකෙන්නේ එකදාස් නමසිය හැත්තෑ එකේ අප්‍රේල් කැරැල්ලයිඅප්‍රේල් පස්වැනි දා ඇරැඹි කැරැල්ල සති කීපයක් යන විට අඩපණ වී ගොස් කැරලිකරුවෝ කැළෑ වැදුණා.

එසේ සියල්ල අහිමිව පරාජිතව වනගත වී සිටින මොහොතක කැරලිකරුවකුට මුළු රාත්‍රිය පුරා ඇසෙන්නේ උලලේනාගේ හඬයි. ( කැරලිකරුවා මෙහි රචකයා දැයි මම නොදනිමි) විප්ලවයේ මළගම මෙ හඬත් සමඟ ඔහු අත්විඳියි. රන්බණ්ඩා සෙනෙවිරත්නයන් පසුකලෙක මේ ගීතය සඳහා යොදා ගන්නේ මේ අනුභූතියයි. එහෙත් මේ අත්දැකීමෙන් පරිබාහිර වුවද මේ නිර්මාණයෙන් යම් රසයක් අත්විඳිය හැකි . එහෙත් මෙම අත්දැකීම ඔස්සේ සියල්ලට වඩා හොඳින් මේ නිර්මාණය රසවිඳිය හැකි .

වනාන්තරය පාළු . පාළුව දෙවනත් වන්නේ උලලේනාගේ හඩිනි. මේ කැරලිකරුවාට ඊයේ මුණගැසුණු සහෝදර කැරලිකරුවන් අද ළඟ නැත. ඔහුට ඔවුන් සිහිවෙයි. සියලු දෙනාට එළඹී ඇත්තේ නපුරු කලදසාවකි. දරන්නට බැරි තනිකමක බර මේ මොහොතේ හිතට දැනෙයි.


"පාළුව දෙවනත් කරලා
නාඬන් උලලේනෝ
කාටත් නපුරු දා
තනිකම් ඇතිවෙනවා
උලලේනෝ..."


කැරලිකරුවෝ කීපදෙනෙක් වනාන්තරයේ තනිවී සිටිති. ඔවුන්ට මේ මොහොතේ උරුමව ඇත්තේ සීත සුළඟත් හිරිකඩත් පමණි. ඔවුන් බලාපොරොත්තු වූ ලෝකය සුණුවිසුණු වී ගොස් . උලලේනාට නම් පියාඹන්නට තටු ඇත. ඒත් වනාන්තරයේ තනිවූ මේ කැරලිකාර යෞවනයන්ට ඉතිරි වී ඇත්තේ ලී දඬු කපා අටවා ගත් කුඩා පැලක් පමණි. ඔවුන්ට වඩා නිදහසක් උලලේනාට ඇත.


"සීත සුළං හිරිකඩයි
කැලේ අපට උරුමේ
උඹට පිහාටුයි මට පැල්පතයි තියෙන්නේ
උලලේනෝ..."


විප්ලවය පිළිබඳ බලාපොරොත්තු ඉහිරුණු කිරි කළයකට සමාන . යළි කිරි කළයට එකතු කළ නොහැකි . දැන් හිත හදාගත යුතුය. උලලේනා අඬාවැටෙන්නේ දුකකට විය යුතු . හඬා වැලපීමෙන් පලක් නැති බව උලලේනා ඉගෙන ගත යුතු. උලලේනාට ආත්ම ධෛර්යය දිය යුතු . ශෝකය දුක ඉදිරියේ විලාප දීමෙන් පලක් නොමැති බව උලලේනාට උගන්වන්නට තරම් ඔහු තුළ ආත්ම ධෛර්යය ඉතිරි තිබේ.


"ඉහිරුණු කිරි කොතලෙට
ඉකි බිඳලා පල නෑ
උඹටත් එක්කයි මම මේ
කවිය කියන්නේ
උලලේනෝ...."



එසේත් නැත්නම් උලලේනා වියෝ දුක කාට හෝ සන්නිවේදනය කරනවා විය යුතුය. එහෙත් මේ කිසිවකින් පලක් නැත. සංසාරයේ හැටි උලලේනා අවබෝධ කරගත යුතුය. ඊයේ තමා ළඟ සිටි මිතුරන් වෙඩි උණ්ඩයකට ජීවිතය දන් දී තිබේ. සංසාරයේ දුක උලලේනාට වඩා හොඳින් මේ කැරලිකරුවා අවබෝධ කරගෙන සිටී. දේශපාලන විමුක්තියෙන් පවතින බව ඔහු පසක් කර ගනී.


"සංසාරේ හැටි තමයි
වියෝග ඇතිවන්නේ
නිවනට ගිය දා මේ හැම දුක නැතිවන්නේ
උලලේනෝ..."



මේ ගීයේ අර්ථ ගාම්භීර්ය වඩාත් හොඳින් දක්නට ලැබෙන්නේ මේ අවසාන පද කීපයෙනි.

ජීවිතයේ පරාජයන්ට, එසේම වියෝ විරහ වේදනාවන්ට ගොදුරු වූ ඕනෑ පුද්ගලයකුට ගැඹුරු ජීවන යථාර්ථයක් උකහාගැනීමේ හැකියාව මේ ගීතයේ පවතී. පාළු ශෝකී රසය අතරින් භාවයන් පමණක් නොව බුද්ධිය අවදි කරවීමේ හැකියාව මේ නිර්මාණයේ පවතී.

රන්බණ්ඩා සෙනෙවිරත්නයන්ගේ බොහෝ ගී නිර්මාණයන්හි අපූර්වත්වයක් සැඟවී පවතී. එසේම අසම්මත භාෂාවක් මෙන්ම දෘෂ්ටියක් තුළ දැකිය හැකි . ළඳුනේ (Landune - Download), පබලු නඟේ (Pabalu Nage / Sumano - Download) ආදී නිර්මාණ පමණක් සඳහා නිදසුන් . ඔහු ලියූ අල්ප ගීත සංඛ්‍යාව ඔහුට ගීත රචකයකු ලෙස තම මුද්‍රාව තබන්නට ඉවහල් වන්නේ එබැවිනි.



ගුණදාස කපුගේ අමරණීය කලාකරුවකු වන්නේ ගායකයකු සංගීතඥයකු මානව හිතවාදියකු නිසාම නොවේ. ගයන්නට පදමාලාවක් තෝරාගැනීමේදී ඔහු තුළ සියුම් ඉවක් පැවතිණි.. එසේම එම පදමාලාවට සුදුසුම සංගීතය ඔහු අතින් බොහෝවිට නිර්මාණය විය. නොමැති නම් වෙනකකු ලවා නිර්මාණය කරගත්තේ .

පාළු වනාන්තරයක් මතට ළා හඳ එළියක් පතිත වී තිබේ. වනගැබෙන් එක්වර මතුව එන්නේ උලලේනාගේ හඬයි. එය අවට කඳුගැටයක හැපී දෝංකාර දෙයි. වනයේ හුදෙකලා වූ කැරලිකරුවකු ගේ පමණක් නොව ජීවිතයේ කටුක දුක සැප වළඳන මිනිසකු ගේ හදවත එයින් තිගැස්සෙයි.

තමා අත්විඳි දුක් වේදනා, විරහ වේදනා සියල්ල එක පෙළට සිහිපත් වෙයි. මේ සංසාර ගමන නවතන්නට හැකිනම් මේ සියලු දුක්වේදනා වලින් අත්මිදිය හැකි බව එවිට කෙනෙකුට පසක් වෙයි. එහෙත් සත්‍යවශයෙන් උලලේනා ගේ හඬ මෙතරම් අමිහිරි හා භයානක බව  නොදනියි. මේ හඬගාන්නේ උගේ පෙම්වතියටයි. මේ මංගල ඇරයුම අපේ සිත් මෙසේ සසල කරවන්නේ ඇයි.

අරුම පුදුම ස්වභාවධර්මයේ න්‍යාය රන්බණ්ඩා සෙනෙවිරත්න වස්තු කරගන්නේ ඇයි. එය මේ තරම් හැඟීම්බරව කපුගේ ගැයුවේ ඇයි

උලලේනෝ, කියාපන් මේ සුන්දර මිනිසුන් දෙදෙනා අපෙන් ඈත් කළේ ඇයි....?





(Ulaleno - Gunadasa Kapuge)







***********************************************************************************


පසුව ලියමි


මාගේ ප්‍රියතම ගායකයාණන් වන ගුණදාස කපුගේ ශූරීන් සහ අධිනීතීඥ රංබණ්ඩා සෙනෙවිරත්න මහතාගේ සංකලනයෙන් බිහිවුන විශිෂ්ඨතම ගීතයක් සමඟයි අද පෝස්ටුව මං අරගෙන ආවෙ. පුද්ගලිකව කපුගේ ශූරීන්ගෙ සියක් ගීත අතර මා වඩාත් ප්‍රියකරන ගීතයක් තමයි මේ. ඔයාලත් මේ ගීතය රස විඳිනු ඇතැයි මං විශ්වාස කරනවා.

පසුගිය පෝස්ටුවට ප්‍රතිචාර ගොඩක් තිබුනා. ඒත් එක්කම ගොඩක් හොඳ උපදෙස් ටිකකුත් ලැබුනා. ඒ හැමදේටම තුති හැමෝටම ගොඩක් ස්තූතියි. කතන්දරගෙන් චෝදනාවකුත් එක්ක යෝජනාවක් තිබුන අකුරු පැහැදිලි මදි ඒ නිසා පසුතලය සහ අකුරුවල විශාලත්වය වෙනස් කරන ලෙස. ඉතින් ඔන්න මේ පාර පෝස්ටුවේ ඉඳල ෆොන්ට් සයිස් එකනම් ටිකක් විශාල කලා. හැබැයි බැක්ග්‍රවුන්ඩ් එකනම් වෙනස් කරන්න හිතෙන්නෙම නෑ මට. ඒ නිසා ඔන්න ඔහෙ තිබුනාවෙ කියල ඒක වෙනස් කලේ නෑ. හැබැයි ඉතින් ඔක්කොටම හිතෙනවනම් වෙනස්කරන්නම ඕනි කියල, කොමෙන්ට්ස් වලින් කියන්නකො.

ආ.. ඒත් එක්කම බ්ලොග් එකේ හෙඩර් එකට ඉමේජ් එකක් දැම්මා. බලන්න හොඳද කියල. ගුණ දොස් කියන්නකො ඒගැනත්.
බ්ලොග් වලට තාම ඉතින් නවක නිසා ඔයාලගෙ ගුණ දොස් උපදෙස් නැතුව ටිකක් අමාරුයි.



**************************************









11 comments:

  1. විචාරය නම් ලස්සනට ලියල තියෙනවා..
    මට හිතෙන විදියට මේ ගීයේ අවසානයේ යොදල තියෙන වාදන කොටසින්, කොතරම් බාධක ආවත් සගවී සිටියත් විමුක්තිය වෙනුවෙන් නැවතත් සටන් කරන බව අගවන්න උත්සාහ කරල තියෙනව කියලයි මට හිතෙන්නේ මොකද මුලු ගීතය තුලම ශෝකී සංගීතයක් තිබිලා අන්තිම කොටස ටිකක් රණකාමී විදියට යොදල තියෙනවා...

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. විචාරයේ අගට විදානෙගේ අදහසත් එකතු උනානම් හොඳයි කියල මටත් හිතෙනවා. ඒ වාදනය ඇහෙනකොට ඔව්න් පැරදිලා නෑ, අළු මතින් නැවත නැගිටිනව, විප්ලවය පිළිබඳ ඔවුන්ගේ සිහිනය අළු යට ගිනි පුපුරු වගේ තාමත් දැලිවෙනවා කියල දැනෙනවා..

      Delete
    2. විදානේ කියූ පාර දිගේ ආවෙ. මේ ගීත විචාර අපූරුයි මනෝෂ්. ගොඩක් ස්තූතියි මේවා අපිත් එක්ක බෙදා ගන්නවට.

      Delete
    3. බස්සි වතාවකුත් මේ අහට ආව මතක්යි. මං නම් ඉතින් එහේමනේ ඉන්නෙ. ඉස්සරහ තියෙනවා තව හොඳ හොඳ දේවල්. මගේම නිර්මාණ. නිවීහැනහිල්ලෙ කියවන්නකො.

      Delete
  2. ගීයට පදනම් ප්‍රස්තුතය අද තමා ඇහැව්වෙ... ඒක වටිනව ඔබේ විචාරය තරමටම... අඩුම ගානෙ ගීත විචාරක එක් අයෙක් නත් සිටීම විශාල භාග්‍යයක් කියල තමා මට හිගෙන්නෙ...
    මාත් කැමතිම කෙනෙක් තමා කපුගේ... ඒත් මතට ලොල්වීම වටිනා ජීවිතයකන් විනාශ කලා...

    කමෙන්ට් දාන්න මේ තියෙන විදිය කරදරයි කියල හිතෙන්නෙ නැද්ද... කමෙන්ට් ඔප්ෂන් වලින් කමෙන්ට් එම්බෙඩ් කලා නං හොද නැද්ද

    ReplyDelete
  3. ගොඩක් ස්තූතියි මහේෂ් මගෙ බ්ලොග් එකත් එක්ක දිගටම රැඳී ඉන්නෙක ගැන.

    //ඒක වටිනව ඔබේ විචාරය තරමටම\\ අනේ මහේෂ්, මේ මං විචාරය කරපු ඒවා නම් නෙමෙයි. ඔයාලා හැමෝම වගේ ගීත විචාර ගැන කියවන්න, හදාරන්න මාත් ගොඩක් ආස කෙනෙක්. ඒ නිසා කාලයක් තිස්සෙ මාත් එකතුකරගත්ත ගීත විචාර ටිකක් තමා මං මේ මගේ බ්ලොග් එක හරහා ඔයාලත් එක්ක බෙදාගන්නෙ. බ්ලොග් එක පුරාම කියල තියෙනවා වගේ මේ ගීත විචාර වල හිමිකරු තමා ධම්මික බංඩාර මහත්මයා.

    මහේෂ් කමෙන්ට් එම්බෙඩ් කියන එක තමා සිලෙක්ට් කරල තියෙන්නෙනම්.. තාක්ශනික පැත්තෙන් නම් ඔයාලගෙ උදවු ගොඩක් ඕනි වෙයි මට.

    ReplyDelete
  4. //උලලේනෝ, කියාපන් මේ සුන්දර මිනිසුන් දෙදෙනා අපෙන් ඈත් කළේ ඇයි....?//

    මේකට උලලේනා ගාව උත්තර නෑ බං..

    ReplyDelete
  5. මෙී ගීතය අද සරසවි වල එකිනෙකාට විරැද්ධව මරා ගන්න අපේ තරැණ පරමිපරාවට වඩාත් වැදගත් වනු ඇතැයි මා සිතනවා. විප්ලවය යනු එකා මෙන් එක්වී අසාධාරනය පරාජය කිරීමයි. එය නොවෙි අද මෙී තරැණ පරමිපරාවෙී විප්ලවයව තිබෙන්නේ

    ReplyDelete
    Replies
    1. ප්‍රමාද වී පැමිණ හෝ මෙසේ අදහසක් එකතු කිරීම ගැන ඔබට ඉතාමත්ම ස්තූතියි. ඔවුන්ට හොඳ මඟ පෙන්වීමක් ලැබිය යුතුමයි.

      Delete