Pages

Sandumal

Sandumal

Monday, April 21, 2014

•මං මුලාවී පාර සොයාගෙන

"අප හමුවූයේ මන්දැයි නොදනිමි..."



ගුණදාස කපුගේ මිය ගියා. කලාකරුවන් මැරෙන්නෙ නෑ. ඒත් කපුගේ මිය ගියා. ඇයි කපුගේ මැරුණෙ?

"සියලු මිනිසුන් මැරෙන සුලු ය
කපුගේ ද මිනිසෙකි.
ඒ නිසා කපුගේ ද මැරන සුලුය."

ඒ ඇරිස්ටෝටල්ගේ තර්ක ශාස්ත්‍රයයි. කලාකරුවන් මිය නොයන්නේ ඔවුන් නොමැරෙන නිර්මාණ ඉතිරි කර යන නිසා ය. කපුගේ ද බොහෝ නිර්මාණ ඉතිරිකර ගියේ ය. එහෙත් කපුගේ මිය ගියේ ය.



නවසිය අනූව වසරේ එක් දිනක මා ලුම්බිණි රඟහලට ගියේ කපුගේ ගේ "කම්පන" ප්‍රසංගය බලන්නට ය. ශාලාව පිරුණු විගස දොරවල් වැසිණි. ඇතුළත සිටි පිරිසට වඩා පිරිසක් සිටියේ ශාලාවෙන් පිටත ය. ප්‍රසංගය ඇරැඹෙත් ම ඇතැම්හු දොරවල් කඩාගෙන ඇතුළට ආහ. ඒ එදා කපුගේට ලැබුණු එක් ප්‍රේක්ෂක ප්‍රතිචාරයකි. (මෙබඳු අවස්ථා තවත් සිහිපත් කළ හැකිය)

කපුගේ පසු කාලයේ දී ඔහු ගේ ගීතවලින් අඩක් ම සන්ෆලවර් සංගීත කණ්ඩායම සමඟ ගායනා කළේ ය. ඒ ගීතවල මුල් රසය එහි නොතිබිණි. ඒ සංගීත කණ්ඩායමේ වරදට වඩා කපුගේ ගේ වරද ය. කායික ව දුර්වල ව සිටි ඔහුගේ ශ්‍රැතිය නිවැරැදි තැන නොපිහිටියේ ය. එහෙත් කපුගේට නොසිටි රසික පිරිසක් ද ඒ ගීත ඔස්සේ ගොඩනැඟිණි.

අද ඔබ කැමති ගුවන්විදුලි නාළිකාවකට දවස පුරා සවන් දෙන්න. ඔබ කැමති රූපවාහිනී නාළිකාවක් දෙස දවස පුරා බලන් ඉන්න. ස්ටාර් තෝරන තරඟ බලන්න. කපුගේ ගැයු ගීයක් අසන්නට ලැබෙන්නේ නැත. ලැබේ නම් ඉතා කලාතුරකිනි. එසේ නම් කපුගේ දෙවන වරට මරා දමා ඇත්තේ මේ ජනමාධ්‍යයි. (ඉඳහිට ගීයක් ප්‍රචාරය කරන ජනමාධ්‍යය මේ ගැන කමත්වා..)

කපුගේ සතු අවසාන රසික පරපුර දැන් මැදිවියට පිවිසෙමින් සිටී. ඉන්පසු පරපුරට මේ ගීත විඳගන්නට මනැසක් නොතිබිණි ද? 

දෑස නිලුපුල් තෙමා, ඔහුගේ අමරණීය ගීත අතරින් අතළොස්සකි. 

මේ ගීත අනාගත පරපුරට නොගැළපෙන්නේ ද? එසේ නැතිනම් අප සියලු දෙනා මංමුළා වූ සමනලුන්, සමනලයන් ද?

මේ ගීතයේ දී අපට මුණ ගැසෙන්නේ ජීවිතයේ බොහෝ පරාජයන් ලද පුද්ගලයෙකි. ඔහු ජීවිතය තුළ දිග්විජය ලබන්නට උත්සාහ කරන්නේ ආදරය ඔස්සේ ය.

"පාළු අඳුරු නිල් අහස මමයි
ඈත දිලෙන තනි තරුව ඇයයි.."
(මහගමසේකර)



එහෙත් මේ පෙම්වතාට ඇය ද අඳුරු අහසක් මැයි. ඔහුට සවියක් වනු තබා ඇයට ද සවියක් නොමැත. ඇගේ ජීවිතය ද මුල් ඉදිරී ගිය ගසකි. ඔහු මංමුළා වූ සමනලයකු නම් ඇය වචනයේ පරිසමාර්ථයෙන් ම මං මුළා වූ සමනලියකි. සමනලියක් යනු බරක් පතළක් නොදැක සැහැල්ලුවෙන් පාවෙන්නියකි. ඒ නිසාම ඇය මඳ සුළඟට වුවද ගසාගෙන යයි.



සමාජයේ බොහෝ විට මුණ ගැසෙන්නේ එබඳු සමනලියන් ය. සමනලුන් ය. ඔවුන්ට පැමිණි මාවතක් හෝ යන මාවතක් නොමැත. එම නිසාම ඔවුනට සහජීවනයක් නොමැත.

"ඇයත් නොදන්නිය ඇය යන මානය
උන්හිටි තැන් මතකයෙ අඩමානය
පාර කියන්නේ කෙළෙස ද මා හට
ඇයට ද පාරක් ඇති නැති ගානය.."

ප්‍රේරම සබඳතා කෙස් ගානට හට ගනී. අං ගානට ඉතිරි වෙයි. එකකු ගේ අසාර්ථක බව දරාගෙන ඉදිරි ගමනක් යාමට තරම් අනෙකා සාර්ථක මිනිසකු වන්නේ කලාතුරකිනි. ඒ නිසා ඔවුන්ට අවසානයේ උරුම වන්නේ වෙන්වීමයි.

"අප හමුවූයේ මන්දැයි නොදනිමි
පාර ඇසූයේ ඇයි දැයි නොකියමි
අපේ ගමන අද නවතනු හැකිනම්
අප යන ගමන ද අද මෙතනින් නිමි.."

මේ ආකාරයෙන් නිමාවට පත්වන ප්‍රේමකතා සමාජයේ බහුල ය. මෙහි අවසානයට මා පෞද්ගලික ව අකමැති ය. මංමුළා වූවන්ට වුවද අවශ්‍ය නම් පාර සොයාගත හැකිය. එවැනි ධනාත්මක අදහසකින් ගීතය අවසන් වීනම් එයට මම වඩාත් ප්‍රිය කරමි.

"යා යුතු මාවත සොයන්න හැකිනම්
අප විඳි දුක් ගින්දර මෙතනින් නිමි.."

ඒ මගේ පෞද්ගලික අදහසක් පමණයි. කෙසේ වෙතත් ආදරය ඉදිරියේ, අතරමං වන ඕනෑ ම පුද්ගලයකුට මේ ගීයෙන් අපූරු ශෝක රසයක් අත්විඳිය හැකිය.

ගීතය කතාන්දරයක් නොවේ. එය හැඟීම් මාත්‍රයක් පමණි. ඒ තුළ විවිධාකාර වූ දුක් සුසුම් ගැබ් ව පවතී. මේ රචකයා එවැනි සියුම් ස්ථාන මනා ව ස්පර්ශ කරයි.

මෙවැනි සියුම් සංවේදනා ගායනා කිරීමට කපුගේ සතුව පාළු ශෝකි හඬක් පැවතුණි. ඒ හඬ සීත කඳුවැටි තුරු වදුලු ගංගා සොහොන් පිටි පසුකර ගෙන පැමිණ හදවතේ ගැඹුරු තැනට කාවදී. 

ඔහුගේ පැරැණි ගායනා (සන්ෆ්ලවර් තැටිය නොවේ) නැවත සවන් දෙන විට මේ සංවේදනා උපරීමයෙන් අත්විඳිය හැකි ය. 

රූපවාහිනියට කපුගේ සතු වූ රූපය අඳුරු වැඩිනම් ගුවන්විදුලි නාලිකා හෝ ඔහුගේ මුල් හඬට ජීවය දිය යුතුය. ඔහු දෙවන වරටත් මිය ගොස් තිබේ. එහෙත් ඔහුට යළි පුනරාගමනය කළ හැකිය.




(Man Mulawee - Gunadasa Kapuge)









***************************************************************************


ගෙවුන සුබ අලුත් අවුරුද්දෙන් පස්සෙ අරන් ආපු පළමු පෝස්ට්ටුව. ඉතින් නිතරම වගේ මේ ගීත විචාරයත් හොයාගත්තෙ ධම්මික බංඩාර මහත්මයාගෙ ගීත විචාර ගොන්නෙන්. මගේ ප්‍රියතම ගායකයාණන් ගේ තවත් ප්‍රියතම ගීතයක් තමයි මේ.

කට්ටිය සයිබර් බක්මහ උළෙලට ගිහින් ඇවිත් තාම නිදිද මංද ඇඟේ අමාරුවට. හිතුව වගේම එන්නනම් බැරිවුනා. ඉතින් මේ කෙළ පෙරාගෙන දැන් බලාගෙන ඉන්නෙ කවුරුහරි බක්මහ උළෙල ගැන, සියලු විස්තර හා ඡායාරූප සමඟින් පෝස්ටුවක් දානකල්.

අවුරුද්ද ගැන කියනවනම්, වෙනද වගේම සාමාන්‍යපරිදි ගෙවී ගියා. නෑ හිතවත්කම් අලුත් වුනා. හැමදේම ඉතින් සුපුරුදු ලෙසම සිද්දවුනා. දැන් නැවතත් කාපු තෙල බහිනකල් වැඩ. කෙළවරක් නැති වැඩ. නිවාඩුව ඉවරයි, ඔන්න ආයෙත් සැබෑ ලෝකෙට වැටුන.

කොහොමවුනත් වැඩට එන එකත් හොඳයි, මගේ බ්ලොග් ජීවිතයේ යහපැවැත්මට. මොක්ද පහුගිය දවස්වල 99 කාර්ඩ් එකට වහල් වෙලා ගතවුන සයිබර් ජීවිතය වැඩක්ම නෑ.

හිතට දැනෙන්න කිසිම බ්ලොගක්, පෝස්ට් එකක් කියවන්න ලැබුනෙ නෑ. කරපු වැඩකුත් නෑ, දැනුන දෙයකුත් නෑ එහෙ බලල මෙහෙ බලනකොට පැකේජ් එක ඉවරයි. ඒත් ඉතින්, අනේ වාසනාවන් දැන් නම් එහෙම නෑ. අන්ලිමිටඩ් ඉන්ටර්නෙට්. අද ඉඳල නැවතත් අතපය හොඳට දිගෑරල බ්ලොග් යතහැකියි.

එහෙනම්, සියලුමදෙනා සාදරයෙන් පිළිගන්නවා නැවතත්!


29 comments:

  1. මෙතනදි රචකයා සමනලියකගෙන් පාර අහලා තියෙන්නේ තමන් පාර නොදන්න නිසා.ඒත් ඇයත් පාර දන්නේ නැතිලු.ඇත්තටම සාමාන්‍යයෙන් ජනාකීර්ණ පෙදෙසක පාර මං මුලා වෙච්ච සමනලියන්ගෙන් අහන්න වෙන්නේ නෑ.එහෙනම් මේ ජනශුන්‍ය වෙච්ච පැත්තක්.දැන් එතකොට මේ වගේ පැත්තක සමනලියක්, ඒ කියන්නේ හුරුබුහුටි කෙල්ලක් දකින කොල්ලෙකුට ඕන වෙන්නේ පාර හොයා ගන්න නෙවෙයිනේ,ඒ යුවතිය සමඟ සබඳතාවක් ගොඩ නගා ගන්න.එතකොට මොකටද පාර ගැන හිතා වද වෙන්නේ?අන්න එතනින් තමයි මේ ගීතයේ අරුත එන්නේ.මේ පිරිමි ලමයාගේ අරමුණ ජීවිතයේ අර්ථය සෙවීම.ඒත් කරුමෙට මෙයා සමනලියකගෙන් පාර අහන්න ගිහින් ඒ දෙන්නා පෙම් දමක් පැටලිලා.ඉතින් මේ පෙම් දම නිසා මෙයාට ඒ අරමුණට බාධාවක් වෙලා.ඒ හින්දා කියනවා වෙන් විය හැකි නම් ඒ කියන්නේ ආදරය කියන දේ නැවතිය හැකි නම් ඒකම ජීවිතයේ සත්‍යය අවබෝධ කිරීමක් කියලා.තේරෙන සිංහලෙන් කියනවා නම් "මං ආවේ දොම්පෙට යන්නයි,සිද්ධ වුනේ දීගෙක යන්නයි" කතාවක්. ආදර්ශය කිසිදා කෙල්ලන්ගෙන් පාර අහන්න යන්න එපා.

    ReplyDelete
    Replies
    1. පෙමක් ඇතිවෙලත් තියෙනවා. ඒ උනාට කියවෙන විදියට ඒ පෙමින් දෙන්නටම සෙතක් නෑ වගේ. ගීතයේ ප්‍රස්තුථය හොයාගන්න පුලුවන් උනානම්, ඇත්තම කතන්දරේ දැනගන්න තිබුනා.

      Delete
  2. මේක ටිකක් ඕලාරික ගීතයක් බවයි මගේ හැගීම...

    ReplyDelete
    Replies
    1. දේශකතුමාගෙ අදහස මේ ගීතය ඕනිවටත් වඩා රොමැන්ටික් කියන එකද?

      Delete
  3. මේ ගීතයෙ මම නම් කැමතිම සංගීතයට.

    අපරාදෙ මනෝටත් එන්නයි තිබුනෙ ඊයෙ.

    ReplyDelete
    Replies
    1. ඕනි වෙලාවක මේ ගීතය අහනකොට හිතට පුදුම සුවයක් දැනෙනවා මේකෙ සංගීතය නිසා.

      එන්න විදියක් තිබුනෙ නෑ මචං. නිතරම මතක් වුනා. මොනාකරන්නද. දාපන්කො බං ෆොටෝ ටිකක් එක්ක පෝස්ට් එකක්. එහෙමවත් බලාගන්න.

      Delete
  4. මම මේ ගීතයට හරි කැමතියි.
    කම්පන පළවෙනි ෂෝ එක දවසේ ලුම්බිනිය අවට රැස්වීමකට සෙනඟ ඇවිත් වගේ පිරිලා තිබුනේ. දොරවල් කඩාගෙන යන්න තීරණය කලා අපි.

    නන්දා මාලණිය සත්‍යයේ ගීතය කරන දවසේත් ඔහොම වුනා. අපි ප්‍රශ්ණ කරා.."සත්‍යයේ ගීතය...කොහොමද දොරවල් අගුළුලා ගෙන ගයන්නේ" කියලා. පස්සේ දොරවල් අරින්න වුනා. ඒ තරමට සෙනඟ.

    ReplyDelete
    Replies
    1. අරූ අයියලා ඒ අතින් ගොඩක් වාසනාවන්තයි. අපිට එහෙම වාසනාවක් නෑ. කොහොමත් අදටත් කොළඹට විතරක් ඒවගේ ප්‍රසංග සීමාවෙලා තියෙන එක ලොකු අභාග්‍යක්.

      Delete
  5. මං ආස ඔබ පෙම් කරනා උෆබ් කුමාරිය ගීතයට.

    ReplyDelete
    Replies
    1. අඩු වැඩි වශයෙන් අපේ හදවත්වල විරාජමාන වෙච්ච කපුගේ ගෙ ගීත කොච්චරනම් තියෙනවද. කපුගේගෙ හැම ගීතයකින්ම සමාජයේ කුමක් හෝ පැතිකඩක් ඉතාම සංවේදීව නිරූපණය කරනවා.

      Delete
  6. කපුගේගෙ සෑම ගීයකටම පාහේ මා ප්‍රියය..

    ReplyDelete
    Replies
    1. ඒක හරි. කපුගේගෙ කිසිම ගීතයක් නෑ අහකදාන්න පුලුවන්.

      Delete
  7. උන්මාද සිතුවම් මා කපුගේ ගෙ ප්‍රියතම ගීයයි.. ටීවී වලනං දැං කපුගේ ගෙ සින්දු යන්නෙම නෑ..රේඩියෝ එකේ කලාතුරකින් එකක් ගියොත් මිසක්..

    ReplyDelete
    Replies
    1. අනේ මංද බං. කපුගේගෙ ජනප්‍රියත්වය අදටත් නොනැසී තියෙනවා. සිංදු කියන්නෙ කොතනද, ඕනි එකෙක් කපුගේග සිංදුවක් නොකිය ඉන්නෙ නෑ.නවීන තාක්ෂණයට පිංසිද්ද වෙන්න, ගුවන් විදුලි නාලිකාවල සහ රූපවාහිනි නාලිකාවලින් මේ කරන අඩුපාඩුව අපිට පියවගන්න හැකි වෙච්ච එකත් ලොකු වාසනාවක්.

      Delete
  8. කපුගේ කියන්නේ මම කැමතිම ගායකයෙක්... ඔහු මියැදුනත් දහසක් සිත් වල පවස නිවන ඔසුවක් වගේ අපි ළඟ රැඳෙනවා

    ReplyDelete
    Replies
    1. තවත් අලුත් මිත්‍රයෙක්. සාදරයෙන් ඔබව පිළිගන්නවා.

      ඒකයි කපුගේ සදහටම අපේ හදවත්වල ජීවත්වෙන්නෙ. ඔහුට සමකරන්න කිසිවෙක් කවදාවත් බිහිවෙන එකක් නෑ.

      Delete
    2. ස්තුතියි සහෝ...
      ඒක නම් ඇත්ත..

      Delete
  9. අප හමුවුයේ ඇයිදැයි නොකියමි.......
    පාර ඇසුවේ මන්දැයි නොදනිමි.....
    අපේ ජිවිත කතා තුල ගැබ්ව ඇති අර්ථයක්........

    ReplyDelete
    Replies
    1. \\අප හමුවුයේ ඇයිදැයි නොකියමි.......
      පාර ඇසුවේ මන්දැයි නොදනිමි.....//

      ඔය ප්‍රශ්න දෙකට උත්තර හොයාගත්ත ආදරවන්තයින්, ආදරවන්තියන් මේ ලෝකෙනම් නැතිව ඇති. හමුවෙනේ කොහොම උනත්, මොන හේතුවකට උනත්, වෙන්නොවී ජීවත්වෙන්න පුලුවන්නම්..

      Delete
  10. මාත් ආසම සිංදුවක්.. ඇත්තට ජීවිතේ සමහර හමුවීම් තියෙනවා ඔය වගේ.. ඇයි එහෙම හමුවුනේ කියලා හිතගන්නත් බැරි..

    ReplyDelete
    Replies
    1. ඒ හමුවීම වලට හොඳ අර්ථයක් සැපයීම තමයි නේද ජීවත්වෙනව කියන්නෙ.

      Delete
  11. ලියන්නට ඔහුගේ ගී වලින් ලද පන්නරය නම් . . . .
    ඔහු තවත් එක ගායකයෙකු නම් නොව සoගීතවත් දාර්ශනිකයෙකි.

    ReplyDelete
    Replies
    1. ඔබ හරි චාන්..
      අකාලයේ ඔහුගේ මිලින වීම අදටත් වඩා වැඩියෙන් දෙනෙනුයේ අදින් පසු හෙට උපදින අනාගත පරපුරටයි..

      Delete
  12. මට මේත අහන කොටම දැනෙන්නෙ ජීවිතේ වරද්ද ගත්ත දෙන්නෙක් ගෙ කතාවක් කියලමයි...
    ජයවේවා...
    තවත් අලුත් එකක් ඉක්මණටම හමුවෙමු

    ReplyDelete
    Replies
    1. ආදරේ නිසාම ජීවිතේ වරද්දගත්ත දෙන්නෙක් කියලයි මට හිතෙන්නෙත්..

      Delete
  13. මාත් බොහොම ප්‍රිය කරන ගායකයෙක් අකාලයේ වියෝවුණේ අපේ අවාසනාවට කියලා හිතෙනවා..:( ඔහුගේ හඬ විරහවටම උපන් හඬක් තරම් ඊට සමීපයි කියලා හිතෙනවා නිහඬ රෑක ඒ ගීත අහද්දි..මම හිතන්නේ අළුත් ස්ටාර්ලට ඔහුට කිට්ටුවන්නට බැහැ සහ ඔහු මියගියත් තවම අභියෝගයක් කියලයි...

    ReplyDelete
    Replies
    1. ඒ ගැන මතක් වෙන හැමවාරෙකම හිතට දැනෙන හැඟීම විස්තර කරන්න වචන නෑ. අද තියෙන තත්වෙ ගැන කල්පනාවෙන හැම වෙලේම හිතෙන්නෙ, "අනේ කපුගේ අපි අතරෙ හිටියනම්" කියලයි..

      Delete
  14. සුන්දර ගීතයක්.ඒ හැඟීම ගොඩක් හිතට දැනෙනවා..

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම.... වයසට නොයන ගීයක්...

      Delete