Pages

Sandumal

Sandumal

Friday, April 4, 2014

•පිළිම නෙළා නැති විරුවන් පිරිසක්


"අප්‍රේල් විරුවන්ට උපහාරයක් වේවා..."




"පිළිම නෙළා නැති විරුවන් පිරිසක්
සැමරුම් දින නැති විරුවන් පිරිසක්
සැතපෙන බව පස් කඳුයට රහසේ
මිහිකත කම්පාවී.. ගුගුරා දෙස් දේවී.."


වසර සිය දහස් ගණනක් මුළුල්ලේ සියලු පාලක පංතීහු ශ්‍රමය වගුරා ජනතාව නිර්දය පීඩනයකට භාජන කළ හ. එබැවින් වහලුන්, ගොවීන්, කාර්මික කම්කරුවන් ආදි සමස්ත ශ්‍රමික ජනයා නිදහස් හා ප්‍රීති සහගත ජීවිතයක් සඳහා පංති සහිත සමාජයේ ඉතිහාසය පුරා සටන් වැදුණාහ.




"සතුරු පංති සහිත සමාජයේ ඉතිහාසය පංති සටන්වල ඉතිහාසය වන්නේ ය" යි මාක්ස් හා එංගල්ස් විසින් පෙන්වා දෙන ලදි. පාගන්නා හා ඊට ගොදුරු වන්නා වරෙක සැඟැවී, තවත් වරෙක විවෘත ව කැරෙන අනවරත සටනක නියැලුණා හ. "හැම වාරයක දී ම මේ සටන එක්කෝ සමාජය විශාල වශයෙන් වෙනස් කරන විප්ලවයෙකින් හෝ, සටන් කරන පංතිවල පොදු විනාශයෙකින් කෙළවර වූ හ" යි මාක්ස් හා එංගල්ස් පැවැසූ හ.

එබඳු දේශපාලන අරගලයකට බට ජන පිරිසක ගේ ඛේදාන්තයෙන් ඉක්බිති ඔවුන් ගේ එ හැම සිරුරු සිය ළෙහි මිහිදන් කොට මිහිකත කම්පා වෙමින් ගුගුරා ශපථ කරන්නේ කවරක් ද? පස් කඳු යට රහසේ වැළැලුණ ද මොවුහු ද විරුවෝ වෙති.



ඔවුන් වෙනුවෙන් ප්‍රතිමා ඉදි වී නැත. සැමැරුම් දින ද මේ විරුවන්හට නො වේ. ඉතිහාසයේ නිර්මාපකයන් ලෙස මොවුන් හට සිදු වූයේ සිය කාර්ය භාරය අවසනැ පස් කඳු යට සැතැපීමට ය.

ගීතයේ දෙවැනි භාගයෙහි අපට හමුවන්නේ සමාජීය වශයෙන් ජනතාව මඬින පීඩිත භාවය හමුවේ සිත එකඟ කළ නොහැකි ය යන්න යි.
ආගම ධනවාදයේ විනාශකාරී ප්‍රතිඵල (දිළිඳුකම වැනි) හේතු කොට ගෙන ම පවතින බව මාක්ස්වාදය මඟින් තේරුම් ගත් ඔව්හු, ආගමේ ආධ්‍යාත්මික බන්ධන පුපුරුවා හැර, එකී යුතුකම කියා දෙමින් සටන් වැද මිය ගිය හ. ඔව්හු සිය රුව පවා අප හමුවේ ඉතිරි කොට නොගිය විරුවෝ වෙත්.



සභ්‍යත්වය ඇති වූ දවසේ සිට මේ දක්වා එහි ගාමක බලවේගය වූයේ කෑදරකම හා ධනය යි. එංගල්ස් පැවැසූ පරිදි අශෝභන පෞද්ගලික ධනය සභ්‍යත්වයේ ජංගමශීලි ආධ්‍යාත්මික බලවේගයේ එක ම හා නියත සාධකය යි. 

පස් කඳු යට සැතැපෙන විරුවෝ මෙකී පෞද්ගලික ධනයට හා ඉසුරට ලෝභයෙන් සටන් වැදුණෝ නො වෙත්. සමාජ සංවර්ධනයේ අවශ්‍යතාව දකිමින් සමාජ ජීවිතය යහපත් කිරීම සඳහා එළැඹුණු සටනෙහි දී මේ විරුවෝ සිය ජීවිතවලින් වන්දි ගෙවූ හ.



මොවුහු ජනතාව අතරින් ම පැන නැඟුණෝ වෙති. ඔවුන් ප්‍රගතියට එරෙහි, දුෂ්ට සැහැසි රැළක් නොවන බව නිර්භය ව පැවැසීම කෘතහස්ත ගීත ප්‍රබන්ධක මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ගේ වෑයම වී ය. 

ඔව්හූ ප්‍රතිමා මඟින් නිරූපණය නො වූවෝ වෙති.
සිය මළ සිරුරු පවා පොදු ජනයා හමුවේ දර්ශනය වීමට ඉඩ තැබූවෝ නො වෙති. අප හමුවේ නැගී සිටින විරු ප්රතිරූප සැබැවින් ම ප්රතිගාමී පන්තිවලඅයිතිවාසිකම් වෙනුවෙන් මෙහෙ කළ නායක චරිත සිහි ගන්වයි. ඔවුන් යුගකාරක පුරුෂයන් ලෙස ඇතැම්හු හඳුන්වති. 

ඊ.එම්. ෆෝස්ටර් නම් ඉංග්‍රීසි නවකතාකරුවා පවසන්නේ "මම කිසි සේත් මහා පුරුෂයන්, යුගකාරක පුරුෂයන් කෙරෙහි විශ්වාසය නො තබමි" යි යනුවෙනි. "තමා වටා ඒකමතික භාවය නමැති කාන්තාරය ඉදිකරගන්නා ඔව්හු එපමණකින් නොනැවැතී ලේ විලක් ද මවා ගනිති" යි හේ කියයි.

එහෙත් මේ ගීතයෙන් පැවැසෙන විරුවෝ පුද්ගලාභිවාදනයට ඉඩක් නොතබා සමාජ ජීවිතයේ යහපත සඳහා ම දිවි පිදුවෝ වෙති.
ඔව්හු පස් කඳු යට රහසේ සම සේ අප ගේ පොදු ස්මරණයට යටත් ව හොවින විරු පිරිසක් වෙති. ඔව්හු කිසිදු අභිවාදනයක් අපේක්ෂා කරන්නෝ නො වෙති.

මහා ඛේදවාචකයෙකින් අවසන් වූ මේ සටන් වැදීම ත්‍රස්තවාදී හා විනාශකාරී යැ යි ඇඟැවීමට ප්‍රයත්න දරන බහුතරයෙන් අප ගීත ප්‍රබන්ධකයා නිදහස් කෙනෙකි.

තව ද විරුවන් ගේ අගය ගීතයෙහි දැනැවෙන්නේ පිළිම මඟින් ගෞරවයට ලක් නොවන්නන් වීම මඟිනි. සැමැරුම් දින පවා නොමැත්තන් වීම මඟිනි.

සිදු වූ ජනතා අරගල ඇසුරෙහි ජීවිතයෙන් වන්දි ගෙවූවෝ මෙසේ නැඟී සිටි විරුවන් බව සිය පැබැඳුමෙන් එක හෙළා ප්‍රකාශ කිරීමට තරම් නිර්භය රචකයෙක් මේ ගීතය ඇසුරෙහි පෙනී සිටියි.

ජනතාව සිය ප්‍රත්යක්ෂපූර්ණ අසරණ භාවය හමුවේ නැඟී සිටීම ද ධනය හා යසිසුරු ලැබීම යනාදි අරමුණු කෙරෙන් තොර ඔවුන් ගේ උතුම් ප්‍රතිපත්ති ද පිළිබඳ සංක්ෂිප්ත පෙරවදනක් වැන්න මේ ගීතය.



ප්‍රජා පීඩක ධනගැති ක්‍රමය පෙරළා දැමීමට තැත් කරන හැම වාරයක දී ම සභ්‍යත්වය අභාවයට යන බව කී 'ආනෝල්ඩ් ටොයින්බි' වැනි දෘෂ්ටිවාදීන්ට එරෙහි රාවයකි සුනිල් ආරියරත්නයන් මෙමඟින් නංවා ඇත්තේ.

මෙබඳු වස්තු විෂයයක් ගීතයෙහි ලා මීට වැඩි සෞන්දර්යාත්මක වාංමාලාවකින් පළ කිරීම අපහසු යැ යි සිතමි. පැබැඳුම වඩාත් හෘදය ගෝචර වන්නේ එහි ගායනය හා සංගීතය ද සමඟ මනාව විඳින කල ය.
මෙරට අග්‍රතම ගායනවේදිනියක වන නන්දා මාලිනිය ගේ ශාන්ත, කරුණ රස සමායුත ගැයුමෙහි ම තිරසර, අකම්පිත විරෝධකල්පී ස්වරයක් අපට හඳුනා ගත හැකි බවයි.

සමස්ත නාදාකෘතියෙන් තීව්ර කැරෙන ශෝකාවහ බව කෙරෙන් ම සියුම් ව නැඟෙන ප්‍රගල්භ හඬගා කීමක ප්‍රකම්පනය මේ ගීතය මනා කොට ශ්‍රවණය කරන්නකුට හැඟී යනු නිසැක ය. 

මෙහි සංගීත නිර්මාපක එච්.එම්. ජයවර්ධනයන් ද ගීතයේ වස්තු විෂයයට සරිලන නාදාත්මක පරිසරයක් නිමවා තිබීම පෙර කී ප්‍රකම්පනය වැඩිකර අනුවේදනයක් දක්වා පුළුල් කිරීමට හේතු වෙයි.





(Pilima Nela Nethi - Nanda Malini)







උපුටා ගැනුම : සිඵමිණ පුවත්පතෙහි පුන්කලස අතිරේකය සඳහා නන්දන වීරසිංහ මහතා විසින් ලියන ලද ලිපියකිනි.

සියලුම ඡායාරූප අන්තර්ජාලයෙනි.



***********************************************************************

මා දයාබර බ්ලොග් සහෘදයනි, පක්ෂ පාට බේද අමතකකර මොහොතකට මාත් සමඟ ඉහත ගීතය රසවිඳින්න ඔයාලත් එකතුවෙන්න. ඔව්න් මියගියා. කවුරුන් කෙසේ කීවද ඔවුන් මියගියේ උදාරතර අරමුණක් වෙනුවෙන්. එකී ක්‍රියාදාමය අතරතුර විවේචනය කල හැකි දහසකුත් කරුණු ඇත බව මමද දනිමි. නමුත් සමස්ථයක් ලෙස ගත් කල, ඔවුන්ට තිබුනේ එකම එක අරමුණකි. ඒ තමන් පාගා තලාපෙලා දමන අසාධාරණ සමාජක්‍රමය වෙනස් කොට වඩා යහපත් සාධාරණ සමාජයක් නිර්මාණය කිරීමයි. ඒ.. ඔවුන් සඳහා පමණක් නොව. ඔබත් මාත්, උපනූපන් සියළු පුරවැසියන් වෙනුවෙනි.

එනිසා ඔවුනගේ සටන තුල පුද්ගලික ලාබ ප්‍රයෝජන, වාසි නොතිබූ බව පැහැදිලිය. එකම අරමුණක් වෙනුවෙන් සටන්කර ඔවුහු නිහඬවම මියැදී ගියහ. ඒ මරණය වඩාත්ම වේදනාකාරී, ම්ලේච්ඡ හා කුරිරුතම මරණයක් මිස අනෙකක් නොවීය. වධකාගාරතුල අනේක විද වධබන්දනයන්ට ලක්ව ඔවුන් රහසේම අප අතරෙන් වෙන් විය. ඔවුන් සටන් කලේ අප වෙනුවෙනි. ඔවුන් දිවිදුන්නේද අප වෙනුවෙනි. ඔවුන් ගොඩනැඟූ ලෝකය මත අපි අද ජීවත්වන්නෙමු...

"මිල මුදලට යස ඉසුරට ලොබ බැඳ
අවි ගැටුවේ නැත උන්  රණබිම් වැද
දූෂණ භීෂණ රජවූ දෙරණක
සුබසෙත සලසා මළෝය උන් සැම..."

සොහොයුරනි, ඔබ මැවූ සිහිනය තවම සැබෑ වී නොමැත.. නමුත් ඔබ දුටු සිහිනයේ නාමයෙන් මෙහෙවු සමාජයක් හෝ අද අපට ඉතිරි වී ඇත. ඔබ අප හදවත්වල සදාකල් පූජනීයව විරාජමානවේ. එනිසා ඔබ මියගොස් නැත..!



23 comments:

  1. how about the people killed by your heros..whehe is the statues for them

    ReplyDelete
    Replies
    1. The death is common for the both parties at a war. Your heroes started this war against these people. However my dear Ano.. I respect for your status. That is yours and this is mines...

      Delete
  2. //සොහොයුරනි, ඔබ මැවූ සිහිනය තවම සැබෑ වී නොමැත.. නමුත් ඔබ දුටු සිහිනයේ නාමයෙන් මෙහෙවු සමාජයක් හෝ අද අපට ඉතිරි වී ඇත. ඔබ අප හදවත්වල සදාකල් පූජනීයව විරාජමානවේ. එනිසා ඔබ මියගොස් නැත..!//

    ඔවුන් අප හදවත් වල විරාජමාන වී ඇත.. නමුත් ඔවුුන් වෙනුවෙන් හඬ නැගිය යුත්තන වසර විසිපහක් තිස්සේ මුණිවත රකිති.. ඔන්ගේ මුණිවත බිඳිය යුතුය නැතිනම් මියගිය විරුවන් ට සමදාම පස් කදු යට රහසේ ඉකිගසනු ඇත..

    ReplyDelete
    Replies
    1. උඹත් එක්ක මං එකඟයි විදානෙ. විය යුත්ත තාම නිවැරදිව උනේ නෑ. නමුත් ඔවුන් හිතනව ඇති, ආයෙත් විප්ලවයකට යෑමෙන් ඉතිහාසෙ එකම වරද 3න්වෙනි පාරටත් කරනවා කියලා. ප්‍රජාතන්ත්‍රවාදීවවත් ඔවුන්ට තාම ඒ අරමුණට යන්න අවස්ථාවක් ලැබුනෙ නෑනෙ.

      Delete
  3. කැරැල්ල දිනුවනම් රටම අද වෙනකොට පිළිමයක් වෙලා .උතුරු කොරියාව වගේ නේද? මාක්ස් එන්ගල්ස් වගෙ සියල්ල දත් අයගෙ පොත් වල හැම අකුරක්ම අදහන භාග්‍යවන්තයන්ට වත් සැනසිල්ලකින් ඉන්න ලැබෙන එකක් නෑ. සියල්ලම පක්ෂය තුලටත් ඉන්පසු දේශපාලන මණ්ඩලය තුලටත් ඌණනය වන නිසා. ලංකාව චීන සෝවියට් පන්නයේ සත්තු වත්තක් නොවීමයි සතුට . බහුපක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය,මානව හිමිකම් වෙනුවෙන් සටන් කළ සැබෑ වීරයන් වන පෝලන්තයේ සොලිඩැරිටි ව්‍යාපාරයේ ලෙක් වැලෙන්සලට වැක්ලාවු හැවල් ලාට මෙන්ම සෝවියට් චීන වධ කදවුරුවල මිය ගිය ලක්ෂ ගනන් අසරනයන්ටයි ආචාරය පිදිය යුත්තේ.

    ReplyDelete
    Replies
    1. මටනම් හිතෙනවා එහෙම එකක් වෙන්නැතිවෙයි කියලා. මාර්ක්ස්ලා, එංගල්ස්ලගෙ දර්ෂණය ලංකාවට ඔබින විදියට වෙනස් කරගෙන හොඳ ගමනක් යන්න තිබුනා. මූලධර්ම වාදීන් නෙවෙයිනෙ. කවුරු උනත් අකමැත්තෙන් හරි පිළිගන්නවනෙ දැන් තියෙන ප්‍රධාන ප්‍රවාහ 2ම නම විතරක් වෙනස් වුන එකම විදියෙ දූෂිත දේශපාලන ව්‍යාපාර. ඒව සාමාන්‍ය ජනතාවට ආදරේ කරන ඒව නෙවෙයිනෙ.

      Delete
    2. exatly,well said sir, hats off

      Delete
  4. මේ ඊනියා වීරයන් විසින් මරා දැමූ අය ද සැමරිය යුතුයි. කිසිවෙකු මොවුන්ට එරෙහිව යුද්ධයක් ආරම්භ කළේ නැත.මොවුහු අවි සපයාගෙන ජනතාව පත් කල රජයට එරෙහිව කැරළි ගැසූහ.එය වැඩවසම් හෝ මොකක් හෝ ජනතාව පත් කල රජයකි. මනාප ක්‍රමයේදීද ජනතාව පත් කළ අය ඉවත් කර පක්ෂයෙන් වෙනමම අය දමන්නේ පක්ෂය ජනතාවට වඩා ඉදිරියෙන් සිටින බව මොවුන් සිතන නිසයි.මුන් එදා දිනුවනම් අපි හමෝම අද මුන්ගෙ වහල්ලුය. චන්දෙකින් මුන්ව වෙනස් කරන්න කියලයැ.

    මේ ඊනියා වීරයන් අතින් මරුම් කෑවේ කවුදැයි දන්නවාද? ප්‍රතිවිරෝධයක් දැක්වීමට කිසිසේත්ම අසමත් බස් ඩැයිවර්ලා,ග්‍රාමසේවකලා,වැනි අයයි.මිනීමැරුමක් කළ පසූ උත්සව පැවැත්වීමක්ද මොවුන් බහුතරය වූ තැන්වල තිබුනි. මිනී මරා බිම දිගේ ඇදගෙන ගොස් අවසන් කටයුතු කළ යුතු යැයි නීති දැමූ මේ වීරයන් ඇත්තෙන්ම තිරිසනුන්ටත් අන්ත ම්ලේච්ඡයන් පිරිසක් නේද?

    ReplyDelete
  5. ඉහත ඇනෝ කෙනෙක් අසා ඇති ප්‍රශ්නයේදී මනෝෂ් කියනවා මේ වීරයන්ට එරෙහිව යුද්ධයක් ආරම්භ කළේ වෙනත් පිරිසක්ය කියල. නැහැ මේ අයාවි ආයුධ රැස් කරමින් කැරැල්ලකට සූදානම් වෙමින් සිටින විට රජය ඔවුන් පසු පස හඹා ගියා. තම් නිර්ධන පන්තිය නියෝජනය කරන බව කියමින් මැරවරයන් පිරිසක් කලබල කරන විට රජයකට නිහඩව ඉන්න බැහැ.යුද්ධය පටන් ගත්තේ මේ අයයි .

    එදා පැවතියේ ජනතාව පත් කළ රජයක් .ඒ රජය පෙරලන්න මේ දාමරිකයන්ට තිබෙන අයිතිය කුමක්ද? අපි අපේ ප්‍රජාතන්ත්‍රවාදය නිදහස වෙනුවෙන් කැප විය යුතුයි. එය දාමරික පක්ෂයකට සින්න කරන්න බැහැ. අපේ තෝරා ගැනීමේ අයුතිය ශුද්ධයි. එහි ගැටළු තිබෙනවා. කඩාකප්පල්කාරීන් මේ පුංචි දුර්වලකම් ගැන ලොකුවට කතා කළත් ඔවුන්ට වුවමනා වුනේ මේ අයිතීන් නැතිකර අප සදාකල් වහල්භාවයේ තබන්නයි.

    මේ රට පාලනය කළේ බෝතලේ වලව්වෙන් පටන් ගත්තහම වලවු කාරයන් තමයි.වලව්වෙන් වලව්වට බලය මාරු වුනා. එකට හේතුව ජනතාවගෙ තිබුන පසුගාමී චින්තනය.ඒක වෙනස් වෙන්නෙ ක්‍රමයෙන්.

    ReplyDelete
    Replies
    1. ඔබගේ අදහස් වලට මා ඉතා ගරුකරනවා. ඒ ඔබගේ දේශපාලන දෘෂ්ඨිය. අඩු වැඩි වශයෙන් දෙපාර්ශවයේම වැරදි තියෙනවා. නමුත් විරෝධතාවලට දිගින් දිගටම පහර දෙනකොට, මර්ධනය කරනකොට, තමන්ගෙ ආත්මාරක්ෂාව වෙනුවෙන් ඔවුටත් සිදුවෙනවා ආයුධ අතට ගන්න. තිබුන කුරිරු මර්ධනය ගැන අමුතුවෙන් කියන්නෝනි නෑනෙ.

      Delete
  6. how about ex JVPers Nandana marasingha,Ariyawansha Athugala,or lionel Bopage (he escaped death because he fled to australia)

    ReplyDelete
    Replies
    1. No one right or wrong completely. There were more caitiffs around whole history.

      Delete
  7. ඔව් උං මැරුණ නැත්තං මැරුව...
    ඒත් අද වෙනකොට උංව සිහි කරනව කියල නාඩගං නටනව...කොටිංම කියනව නං උංව විකුෟණං කනව..
    උංට උපහාරයක් විදියට ඒ සටන කරන්න එකෙක් ව.ත් ඉතුරු වෙලා නෑ

    ReplyDelete
    Replies
    1. ඒ සටන ගෙනියන්න එකෙක්වත් නෑ තමා බං. හිටියත් ඒ සටන කරන්න බැරි බව උඩ කමෙන්ට්ස් වලින්ම පැහැදිලියිනෙ බං. කවදාහරි මේ වෙනස මහජනතාවටම එපාවෙන දවසක් එයි. එදාට උන්ම මේ සමාජ ක්‍රමේ ඇතිකරන්න කටයුතු කරයි. එපා දේවල් බලෙන් දෙන්නෙ කොහොමද. කූඩැල්ල මෙට්ටෙ උඩ තියන්න බෑලුනේ...

      Delete
  8. කොහොම උනත් මම නම් පතන්නෙ මෙවන් අඳුරු බිහිසුනු යුගයක් නැවත උදා නොවේවා………!!!

    ReplyDelete
    Replies
    1. ඒක හරි. එවන් අධම පාලක පංතියක් නැවත බිහි නොවේවා..!

      Delete
  9. යුද්දෙදි මැරුණ හැමෝම විරුවන් නිරපේක්ෂව. ඒක එහෙමයි කියා කියන්නේ සාපේක්ෂවයි..

    ReplyDelete
    Replies
    1. ඒ කතාවත් හරි. එක් පාර්ශවයකට ඔවුන් විරුවන්. ඒ වගේම අනිත් පාර්ශවේට ඔවුන් ද්‍රෝහීන්..

      Delete
  10. සිංදුව අහලා තියෙනවා.. ඔය සිංදුව කියපු කාලේ ඕකට ආව විරුද්ධත්වට ගැනත් කියවලා තියෙනවා..

    ReplyDelete
    Replies
    1. නන්දා මාලිනියගේ පවන කැසට් පටයේ තමා මේ ගීය තිබුනෙ. පවන ලඟ තබා ගැනීම පවා මරණයෙන් වන්දි ගෙවිය යුතු වරදක් ඒ කාලෙ. ඒ කාලෙ මේ කැසට් පටය පොල් ගස්වල කරටිවල පවා හංගගෙනලු බේරගෙන තියෙන්නෙ රසිකයන්...

      Delete
  11. නිවැරදි කිරීම් රාශියකට යොමුවිය යුතු පක්ෂයක්. ඔවුන් නිවැරදි දිසාවට ගමන් කරාවි යැයි මට හිතෙනවා. මියගිය ඒ මිනිසුන් අතර මගේ සනුහරේ එවුන්ද සිටී.ඔවුන් විසින් මරා දැමුවන්ද මගේ සනුහරේ සිටී. මියගිය සියල්ලන්ම වෙනුවෙන්....නැවතත් එවන් යුගයක් නොම වේවා යන පැතුමද සිතේ දරාගෙන ආචාර කරමි.

    ReplyDelete
    Replies
    1. ඔවුන් සාර්ථක නිවැරදි ගමනක් යයි. ඔබේ පැතුමට මාත් එකතුවෙනවා. ඒ වගේම එවන් බිහිසුනු අධම යුගයක් මේ මිහිපිට කිසිදිනෙක නැවතත් ඇතිනොවේවායි මමද ප්‍රාර්ථනා කරනවා...

      ඔවුන් මැවූ සිහින දේශය මේ සිරිලක කෙදිනෙක හෝ බිහිවේවායිද පතනවා..!

      Delete