Pages

Sandumal

Sandumal

Monday, May 26, 2014

•මිනින්දෝරු කන්තෝරුවෙ

"රත්තරන් දෑත සුදු බණ්ඩිගෙ දෙනියේ පස් යට..."




කඩි ගුලක් සේ පොදිකමින් එළියට ඇදෙන ළමුන්ට පසුපසින් හෙමි හෙමින් ඔහු පාසැල් ගේට්ටුවෙන් පිටතට පැමිණියේය. සුරතේ වූ හම් බෑගය තුලට කණ්නාඩි කුට්ටම සහිත කුඩා පසුම්බිය දමා ගැනීමට මදක් පමා වූ ඔහු මිරිගුව නළියමින් ඉද්ද ගැසුවාක්මෙන් දිවෙන ගුරු පාරට පිය එසවූයේ ගුරු නිවහන තෙක් වූ සැතපුම් කිහිපය ඉක්මනින් ගෙවා දැමීම සඳහායි.

වියළි කලාපයේ හිසට ඉහළින් වූ ගිනියම් හිරුගේ චණ්ඩ රශ්මියට දකුණින් පැමිණි මේ ගුරුතුමා දැන් දැන් හුරු වී ඇතුවා සේය. වියළි කලාපයටම ආවේණික වූ ගිනියම් හුළඟ දහදියෙන් පෙඟුනු කමිසය සිහිල් කරමින් හමායන අයුරු විඳිමින් ඔහු දෙපස සොඳුරු දසුන් හා ගැටෙමින් හුදෙකලාවේම පියමැන්නේය.

උදේට දකින දසුන් සහ හවසට දකින දසුන් හැමදාමත් වෙනසක් නොවී තිබුනේ සිතුවම් පටක් නැවත නැවතත් නරඹන්නා සේය. සෞන්දර්යෙන් පිරුණු හිත මේ දසුන් දෙස බැලූයේ තම කවි සිතට විවිධ පදවැල් එක්කරමිනි. නුමුදු ඔහු ඒවා තම පන්හිඳට මුහු කලේ එහෙමත් අවස්ථාවල පමණි. ඒ ඔහුගේ හද පත්ලටම දැනුනු සංවේදී සිදුවීම් සඳහා පමණි.

හුලංදා ඔයට පෙම් බැඳීමට සිතට බලකරන මේ ගිනිගහන මද්දහන සතර අතින් අවි අමෝරා සිටියද තවත් මොහොතකින් පසු බැසිය යුතු වන්නේ තව මොහොතකින් හමුවන සියඹලා හෙවන නිසාවෙනි. 


ඔහු යා යුතු මගෙහි හමාරක් මේ වන විටත් නික්ම ගොස් තිබුනි. ගමනේ ඉතිරි අඩ වැටී ඇත්තේ හේන් ගම්මානය මැදිනි.මඟ දෙපස වූ කුඩා පැල්පත් සමඟ ඒවා වටකරගෙන සිටියේ වියළි හේන් බිම්ය. ඊටත් ඔබ්බෙහි වූයේ ගන වනාන්තරයයි. මෙම ගොවි නිවාස තුල සිටියේ අව්‍යාජ ගැමියන්ය. කිසිදු ලෝබකමකින් තොරව ඔවුන් ඔහු හා සිනාවූයේ අපරිමිත ගෞරවයකිනි.මෙම අහිංසක ගැමි සුවඳ ඔහු පපු කුහර තුලටම ඔබා ගත්තේ අතිශය කුළුණුබර හදවතිනි.නෙතට හුරු දසුන් සමඟින් පසුකර යන මෙම පැල්පත් සමූහය කෙළවර වන්නේ රංබණ්ඩාගේ පැල්කොටය අසලිනි. පිලට වී කුමක් හෝ කර්තව්‍යක නියැලෙමින් සිටින රංබණ්ඩා කවදත් මේ ඉස්කෝල මහත්තයා සමඟ කුලුපඟව සිනාසෙයි. නමුත් මෙදින එය තරමක් වෙනස් වී ඇත.ඔහු කම්මුලේ අතක් තබාගෙන වියළි ගිම්හානය දෙස ඔහේ බලා සිටියේය.

රංබණ්ඩාගේ මෙම ස්ව්භාවය දුටු ඔහු තුල ඇතිවූයේ තරමක කුකුසකි. එම කුකුස කතිරයට එකක් පන්නා දමා තිබූ උණ බට කඩුල්ලෙන් පැන ඔහු අසලට යෑමට තරම් බලවත් වූ හෙයිනුත්, ඇතැම් දිනවලදී පවස නිවන රංබණ්ඩාගේ ගුරුලේත්තුවේ සිහිල් දිය පහස විඳීමට ඇතිවූ පිපාසයත් නිසා ඔහු රං බණ්ඩාගේ පැල් කොටයට ගොඩවිය. නමුදු කල්පනා ලෝකයක් තුල මංමුලා වී සිටි මෙම මහල්ලා හට ගුරු මහතාගේ පැමිණීම හාන්කවිසියක්වත් නිච්චි නොවීය. කෙසේ නමුදු රැල් බුරුල් හැරි ගුරුතුමාගේ හඬ හමුවේ දැහැන්ගත ලොවින් මිදුනු මහල්ලා වහා නැඟී සිටියේ තම උරහිසේ රඳවා තිබූ ලේන්සුව දෝතින් ගෙන බුලත් කහට බැඳි දසන් කිහිපය දක්වා සිනාසුනේ ඉතාම ලෙංගතු අයුරිනි. නමුදු මේ සිනහවට සඟවාගත නොහැකිවූයේ ඔහු නෙත් කෙවෙනි තුල අරගල කල කඳුලු කැට කිහිපයයි. 

ඉතාම දයාබරව ඔහු වත්තන්කොට පසෙකින් වාඩිගත් ඉස්කෝලෙ මහතා,

"මාමේ, මොකද මේ? මාමා ලොකු හිතේ අමාරුවකින් වගේ..?" කියා ඇසුවේය.

සුසුමක් ගිනියම් වාතලයට මුදාහල මහල්ලා,

"එහෙමයි අපේ මහත්තයෝ.. මගේ පපුව වාවන්නෙ නෑ.." යැයි පිළිවඳන් දුනි.

"ඒ මොකෝ අපේ මාමෙ..? හිත සැහැල්ලුවෙයි. මට කීවනම් කාරණේ..?"

තරමක් වෙලා කල්පනාවක නිමග්න වූ මහල්ලා දිගු කතාවකට මුලපිරුවේය.

"මහත්තයෝ... අර ඈත පේනව නේද..?"

ඔහුගේ දෙනෙත් යොමුවූ දිශාවට සමාන්තරව අපේ කතානයක ගුරුතුමාගේ දෙනෙත්ද යොමුවිය. එහි වූයේ පැරණි සොහොන් කොතකි.

"ඔතන නිදාගෙන ඉන්නෙ  මගේ සුදුබණ්ඩි මහත්තයෝ. ඔය වැළලිලා තියෙන්නෙ මගේ පණ කෙන්ද. හැමදාම හැන්දෑකොරේ මං උන්දැ නිදන තැනට යනවා. බිං කළුවර වැටෙනකල් මං ඔතන ඉන්නවා.මගේ සුදුබණ්ඩි මං එක්ක ගතකරාපු අතීතෙ මට සිහිවෙනවා. පාළොස්වක පෝය දාට හඳ එළියට මේ පළාතම ලස්සනයි. එදාට මං එළිවෙනකල් ඔතනට වෙලා මගේ සුදුබණ්ඩි එක්ක කතාකරකර ඉන්නවා.. පහුගිය අවුරුදු 10ම මං ගතකලේ ඔහොම. ඒත්  මහත්තයෝ දෙතුන් දොහකට උඩදි මේ හැමදේම වෙනස් උනා.

"මගේ සුදුබණ්ඩි නිදන තැනට ටිකක් එපිටහින් අර ඈත පේන්නෙ මගෙ ලොකු පුතාගෙ ගෙදර. උන්ටත් දැන් දරුවො ඉන්නවා.. ඉතිං උන්ට දැන් ඕනිලු මේ ඉඩම කට්ටිවලට කඩල දරු මුණුපුරන්ට ලියල දෙන්න..අපි සේරම මෙච්චරකල් හිටියෙ එකම ඉඩමක.. ඒත් දැන් උන්ට ඕනිලු මේ ඉඩම මායිම් කොරල බෙදල වෙන්කොරගන්න. 

තව දෙතුන් දොහකින් මිනින්දෝරු මහතැන්ලා එනවලු මේ ඉඩම මනින්ඩ. 

අනේ මහත්තයෝ ඉඩම බෙදුවොත් මායිම වැටෙන්නෙ මගේ අහිංසකී, සුදුබණ්ඩිගේ සොහොන උඩින්. අනේ මහත්තයෝ එහෙම උනොත් මට ආයෙ මගේ සුදුබණ්ඩි ලඟට යන්න බැරිවෙයි. මයෙ පුතණ්ඩියටත් වඩා මෙහෙම කොරන්න උවමනා වෙලා තියෙන්නෙ උන්දැගෙ හාමිනේට. මගේ ලේලිට.සමහර විට උන් සොහොන කඩාදායි. මට වාවන්නෙ නෑ මහත්තයෝ. මං මගේ සුදුබණ්ඩිව තනි කලේ නෑ කවදාවත්. උන්දෑ කාටවත් කරදරයක් නැතිව සැතපිලා උන්නෙ ඔතන. තව ටික දොහකින් මාත් උන්දැගෙ ලෝකෙට යනකල් මට ඕනි සුදුබණ්ඩි ලඟට වෙලා ඉන්න විතරයි මහත්තයෝ."

දෙනෙතින් පැන ආ කඳුලු ගුලිවලට නිදහසේ තම දෙකොපුල් සිප ගැනීමට ඉඩදුන් රංබණ්ඩා ඈත පෙනෙන සුදුබණ්ඩිගේ සොහොන දිහා ඇහිපිය නොහෙලා බලා සිටියේය.



***************************************************************

වියළි කලාපයට තවත් උණුසුම් රාත්‍රියක් උදාකරමින් හාත්පස අඳුර ගිලගනිද්දී තනිකමට පෙම් බැඳි අප කතානායක ගුරුතුමා, තම කාමරය තුල සක්මන් කරමින් සිටියේ දහවල තමන් ඇසූ සංවේදී කතා පුවත යලි මෙනෙහි කරමිනි. පසෙක එල්ලා තිබූ බෝල කූඩුවත් එහි එල්ලා තිබූ කමීස කහිපයත්, කුඩා ඇඳත්, ඒ අසල වූ මේසයත්, කුඩා ලී පුටුවත් ඔහුගේ වත්කම කියාපාමින් ඔහු සමඟම පාලුවට හුරුවී තිබුණි.

මේ අතර වූ ඉඩෙහි සක්මන් කරන ඔහුට රංබණ්ඩාගේ සංවේදී කතා පුවත යලි යලිත් මතකයට වද දුන්නේ යටපත් කල නොහැකි ලෙසිනි. රංබණ්ඩා මාමාගේ කතාව ඔහුගේ හිතට ගෙනදුන්නේ මහත් වූ වේදනාවකි. ඔහු ඔහුගේ වේදනාව මුතු ඇටයක් බවට පත්කිරීමට උත්සාහ ගත්තේය. තවදුරටත් ඔහුට ඔහුගේ කවිසිත සඟවා ගත නොහැකි විය. සක්මන් කිරීම නවතාලූ ඔහු පුටුව පසෙකට ඇද, මේසයට වාඩිවිය.  

කවි උල්පතට ජීවය දුන් පන්හිඳ සුරතට ගත් ඔහු තම දින පොතේ යමක් කුරුටු ගෑවේ රංබණ්ඩා වෙනුවෙන් සදාතනික වූ මතක සටහනක් ලොවට දායාද කරමිනි.


"මිනින්දෝරු කන්තෝරුවෙ මුලාදෑණි ටික
සුදු බණ්ඩි මගේ නිදා ඉන්න ඉඩම මනිනව ද
ඈ ඇහැ අරේවි යන්න හොඳයි දම්වැල් අරගෙන
තරහ අවසරයි යනව ද දම්වැල් අරගෙන

පිං ‍කුඹුරු නෙළන කාලෙට මට හීල අරන් එන
හිස විසාධියට තෙල් උලලා තොන්තුවා‍ වෙන
රත්තරන් දෑත සුදු බණ්ඩිගෙ දෙනියේ පස් යට
රත්තරන් දෑත සුදු බණ්ඩිගෙ දෙනියේ පස් යට

දෙයි හාමුදුරුවො දන්නවනම් දැන් ඈ නැති වග
තෙල් පාන වුණත් නිවා දමයි සංහිඳ පාමුල
වාවන් නෑ මේ දුරුත්ත සංසාරේ තනි මට
වාවන් නෑ මේ දුරුත්ත සංසාරේ තනි මට"

*********************************************************

ඔහු රත්න ශ්‍රී විජේසිංහයන්. නූතන යුගයේ සොඳුරුතම කවියා, ගේය පද රචකයා ඔහු බවයි මගේ හැඟීම. තම දිවි මං තලාවෙ හද සසල කල තැන් ඔහු හරි අපූරු ගීත බවට පත් කල ඔහු ඉතාම සංවේදී ප්‍රායෝගික ගීත රචයෙක්. දුෂ්කර පළාත් ගුරු සේවය තුල ඔහු ලද අත්දැකීම් ආශ්‍රයෙන් අපේ ගීත සාහිත්‍යට ඉතාම වටිනා ගී නිර්මාණ රැසක් දායාද වී ඇත. ඒ අතරින් මගේ බිසවුනේ අසාපන්, බිම්බරක් සෙනඟ ගැවසුණු, වැනි ගීත තවමත් අප රසික හදවත් ප්‍රකම්පනය කරනුයේ එහෙයිනි.

සිංහල ගීත සාහිත්‍යයේ විප්‍රලම්බ ශෘංගාර රසයේ මිහිරියාව මනාව විඳ ගත හැකි ගීත කිහිපය අතරට මේ ගීතයද අපට එකතු කරගත හැකිය. තම සෙනෙහෙවන්තිය සැතපී සිටින බිම බෙදා වෙන්කිරීමට සැරසෙන අවස්ථාවක ඒ දරුණු වේදනාව දයාබර සැමියෙකුට දැනෙන ආකාරය සහ ඔහුගේ නිස්කලංක ශෝකී ජීවිතයට එල්ලවන අභියෝගය මේ ගීතය තුලි නිරූපණය කෙරේ.

ගීතයේ ප්‍රස්තුතයට එකවරම ප්‍රවිශ්ඨ වන රචකයා මෙම කතාව, කතාවේ මැදින් පටන්ගෙන හරි අපූරු ආකාරයට මුල මැද අග ගලපයි. පළමු කොටම ඔහු මේ ආමන්ත්‍රණය කරනුයේ තම සොඳුරිය නිදන භූමිය මැනීම සඳහා පැමිණි මිනින්දෝරු කණ්ඩායමටයි. ඔහු ඔවුන්ගෙන් ඉතාම සංවේදී ඉල්ලීමක් කරයි. එනම්, ඔවුන් කිරීමට සැරසෙන කටයුත්තෙන් ඇයගේ නින්දට බාධාවෙයි. ඒනිසා පිං සිද්ධවෙයි, ඔය මිනුම් දම්වැල් ටිකත් අරගෙන යන්න පුලුවන්ද? ඔහු එසේ අසයි. එය වඩා සංවේදීව අපට දැනෙනුයේ රත්න ශ්‍රී කිවිඳු ඒ සඳහා යොදා ඇති යෙදුම නිසයි. "ඈ ඇහ ඇරේවි යන්න හොඳයි දම්වැල් අරගෙන". ඔහුට ඔවුන්ව පලවා හැරිය නොහැක. ඔහුට ඔවුන් කරන දේට විරුද්ධවිය නොහැක. එනිසා ඔහු ඉල්ලීමක් කරයි.

"මිනින්දෝරු කන්තෝරුවෙ මුලාදෑණි ටික
සුදු බණ්ඩි මගේ නිදා ඉන්න ඉඩම මනිනව ද
ඈ ඇහැ අරේවි යන්න හොඳයි දම්වැල් අරගෙන
තරහ අවසරයි යනව ද දම්වැල් අරගෙන"

මීළඟට ඔහුට සිහිපත්වන්නේ තම දයාබර බිරිඳ පිළිබඳ වූ සොඳුරු මතක සටහන් පෙළකි. මේ ඔහුට ඇයගේ සෙනෙහස වඩාත්ම තදින් හදවතට දැනුනු අවස්ථා විය හැකියි. ඇය ඔහුට ඇඹුල අරන් ආව විදිය, බත් පත බෙදා අතට දුන් අයුරු, සමහර විට වෙල් නියර මත හිඳ බත් කැවූ සැටි ඔහුට යළි යළිත් මැවී පෙනෙනු ඇත. උදේ සිට අඳුරු වැටෙන තුරු, හේනේ කුඹුරෙ වෙහෙස වී ආ විට ඇය ආදරයෙන් ඔහුගේ හිස අත ගෑ හැටි, ලෙඩක් අසනීපයක් වූ විට ළඟම රැඳෙමින් ඔහුට සුවයක් වූ ආකාරය ඔහුට සිතුවම් පටක් මෙන් මැවී බොඳවී යයි. සැමියෙකුට බිරිඳගේ ආදරය වඩ වඩාත් දැනෙනුයේ මෙවන් අවස්ථාවල බවයි මගේ හැඟීම.ඔහුට එලෙස සැලකූ, ඔහුට එතරම්ම දයාබර වූ, ඔහුගේ දිවියට නිබඳ සෙවනැල්ල වූ මේ රත්තරන් දෑත, මේ රත්තරන් සෙනෙහස, මේ රත්තරන් ගැහැණිය තමයි අද මේ විදියට දෙණියේ පස් වලට යටවී සිටින්නේ.

ගීතයේ මෙම කොටසේ අවසන් පැදිපෙල දෙවතාවක් ඉතාම හැඟීමබරව ගායනා වන්නේ ඔහුගේ මෙම හැඟීමෙහි ඇති කටුක වේදනාව රසික අප හදවත් තුලටද මනාව සම්ප්‍රේෂණය කරමිනි.

"පිං ‍කුඹුරු නෙළන කාලෙට මට හීල අරන් එන
හිස විසාධියට තෙල් උලලා තොන්තුවා‍ වෙන
රත්තරන් දෑත සුදු බණ්ඩිගෙ දෙනියේ පස් යට
රත්තරන් දෑත සුදු බණ්ඩිගෙ දෙනියේ පස් යට"


ගීතයේ අවසාන කොටසින් ඔහුගේ තනිකම, සුදුබණ්ඩි නැති ඔහුගේ ජීවිතයේ අසම්පූර්ණ බව වඩාත් තීව්‍ර ලෙස නිරූපණය කොට ඇත.


"දෙයි හාමුදුරුවො දන්නවනම් දැන් ඈ නැති වග
තෙල් පාන වුණත් නිවා දමයි සංහිඳ පාමුල
වාවන් නෑ මේ දුරුත්ත සංසාරේ තනි මට
වාවන් නෑ මේ දුරුත්ත සංසාරේ තනි මට"

සංහිඳ යනු දෙවියන්ට පුද පූජෝපහාර පවත්වන, දෙවියන් උදෙසා බාරහාර වෙන ස්ථානයයි. එසේත් නොමැතිනම් ගෙපැලක පහන් පැලයි. කෙසේ හෝ සංහිඳ යනු දෙවියන් උදෙසා වන පූජනීය ස්ථානයි. නමුත් රචකයා පවසනුයේ දෙවියන් උනත් දන්නවා නම් ඇය නැතිවග, දෙවියන් දන්නවානම් ඇය නොමැති ලොව තුල ඔහු හුදෙකලා වී ඇති ආකාරය, තම පුදසුනේ, එනම් සංහිඳ පාමුළ දැල්වෙන පහන වුවද දෙවියන් විසින් නිවාලනු ඇති බවයි. 

අනෙක් අතට ඇය මෙම නිවසේ පහන වී සිටි අවධියේ, සංහිඳ අසල ඇය පහනක් දල්වන්න ඇති. ඇය නොමැති මෙම පරිච්ඡේදයේ ඔහු එම අඩුව පුරවන්නට ඇත. නමුත් දෙයිහාමුදුරුවො ඇය නැතිවග දන්නවා නම් ඒ දල්වන පහන වුවද නිවාලනු ඇත යන්න විය හැකියි මෙහි අදහස. තවද මේ බැරෑරුම් ප්‍රකාශය තුල ඇයගේ චරිතය පිළිබඳව, නෝඑසේනම් පතිනියක ලෙස ඇගේ උතුම බව පිළිබඳව නිරූපණය වනවාද වියහැක.

කෙසේ වුවද ඔහු පවසන්නේ ඇය නොමැති මෙම ජීවිතය කෙසේ වත් ඔහුට තව දාරගනු නොහැකි බවයි. ඔහු දකින්නේ ඇයගේ නික්ම යාම තුලින් ඔහු සංසාරය පුරාවටම තනි වූ බවකි, අසරණවූ බවකි. 
"වාවන් නෑ මේ දුරුත්ත සංසාරේ තනි මට" 
වියලි කලාපයේ දුරුත්ත කෙතරම් කටුකදැයි එහි වෙසෙන්නෝ දනිති. අනෝරා වැහි වැටෙන, කටුකතම සීතලෙන් පීඩා ගෙන එන මෙම සීත සමය ඉතාම කටුක අවදියකි. එක දිගට දින හතක් දිවා රෑ වහින හත් දුරුත්තේ සීතල ඔබ විඳ ඇතිනම්, අන්න ඒ සීතලේ කටුක බවටයි රචකයා ඇය නොමැති ඔහුගේ ජීවිතය උපමා කරනුයේ.

කෙසේ වුවද, අවසාන වශයෙන් පැවසිය හැක්කේ ඔහුගේ සුදුබණ්ඩි නිදා සිටින ඉඩම, ඇගේ සොහොන මතින් බෙදා වෙන්කල හැකි වුවද, මේ සෙනෙහෙවන්ත යුවලගේ සෙනෙහස මිනින්දෝරුවන්ට, නීතියට පමණක් නොව, සොබාදහමට වුවද බෙදා වෙන්කල හැකිවේද?




(Minidoru Kanthoruwe - Karunarathna Divulgane)





(සියලු ඡායාරූප අන්තර්ජාලය ඇසුරිනි.)


                ගීත විචාරය,
                                                        -මනෝෂ් සඳරුවන් (සඳුමල්)




***************************************************************************


මා දයාබර පාඨක සහෘදයන්හට ඉතාම සතුටින් පවසන වගනම්, අද මා ඔබ වෙනුවෙන් මේ ගෙන ආවේ මාගේ තුන්වෙනි ස්වයං ගීත විචාරයයි.


 මෙය වෙනදා ඔබට ගෙන එන ගීත විචාරයට වඩා තරමක් වෙනස් ආකාරයෙන් ඉදිරිපත් කිරීමට සිතුවේ මෙහි නිදාන කතාව, එනම් ගීතය නිර්මාණය කිරීමට වස්තු බීජය සැපයූ සිදුවීම පිළිබඳ මා අසා ඇති හෙයින් එය ඔබටද වඩාත් රසවත්ව රසවිඳීම සඳහායි. මගේ එම උත්සාහයේ සාර්ථක බව හෝ අසාර්ථක බව තීරණය කිරීම රසික ඔබට අයිති කර්තව්‍යයකි. කෙසේ වුවද මෙහිලා මා පැවසිය යුතු වැදගත්ම කරුණ නම් ඉහත කතාන්දරය මුලුමනින්ම මගේ හිතලුවකට අනුව මවිසින් නිර්මාණය කරන ලද්දකි. එනිසා එය සත්‍ය සිදුවීමෙන් කෙතරම් දුරස්ථදැයි මම නොදනිමි. අවශ්‍ය වූයේ වඩාත් රසවත් අයුරින් ඔබට මෙය විඳීමට අවස්ථාව ලබා දීමයි. නමුත් ගීතයේ උත්පත්ති කතාවේ, නොමැතිනම් මා හඳුන්වන ආකාරයට නිදාන කතාවේ මූලිකම හරය මෙම කතාව ගොඩනැගීමට ප්‍රස්තුත වූ සිද්ධිය බව ඔබට පවසනුයේ වගකීමෙනි. එම නිදාන කතාව මා මීට කලින් අසා ඇත්තෙමි. ඒ අනුව මෙම කතාව තරමක් ආලවට්ටම් දමා ඔබ වෙත ගෙන ඒමට උත්සාහ කලෙමි.

මෙහි නිර්මාතෲවරයා.. ඒ සොඳුරුතම මිනිසා.. රත්න ශ්‍රී විජේසිංහයන් පිළිබඳ මේ අවස්ථාවේ මම කිසිවක්ම පැවසීමට උත්සාහ නොකරන්නෙමි. මෙම අසහාය ගේය පද රචකයාණන්, කවියන්, මේ සංවේදී මනුෂ්‍යයා පිළිබඳව කතාකිරීමට මට කිසිසේත්ම මෙම ඉඩ ප්‍රමාණවත් නොවේ. ඔහු වෙනුවෙන් ලිපි පෙලක්ම සැකසිය යුතුය. එම ලිපි පෙල ඔබ වෙත අනාගතයේ දිනක තිලිණ කිරීමට මම බලාපොරොත්තුවන්නෙමි. එතෙක්, ඔහු පිලිබඳ ලියැවුනු අගනා ලිපියක් වෙත දැන් මම ඔබව යොමු කරමි. මෙම ලිපිය මගේ බ්ලොග් අඩවියෙහි මුල් කාලීන ලිපි අතර පවතින ලිපියකි. කියවීම සඳහා මෙතනින් යන්න.

මෙම පද රචනයට ජීවය දෙමින් එය ගීයක් බවට පත් කලේ, මෙහි පාට තැවරූයේ තවත් ඉතාම සොඳුරු මිනිසෙකු වන සංගීතය : එච්.එම්.ජයවර්ධනයන්ය.

පොළොවේ පයගසා හිඳිමින් උදාරතර මිනිසෙකුගේ අත් උදවුවෙන් මිනිසුන් අතරින් බිහිවූ මෙම ගායකයා පිළිබඳ මම කිසිවක්ම නොලියමි. ඔහු අපට ඉතිරිකල මෙවන් සොඳුරු නිර්මාණ කිහිපයකට පසු ඔහු අප හැරදා බොහෝ දුර ගොස් ඇත. එනිසා අද ඔහු අප අතර නැත. ජනතාව වෙනුවෙන්, ජනතාවගේ දුක ගැන සමාජයට උගන්වන්න යැයි ඔහුට ගුරුහරුකම් ඔහුට අද ඒ යුතුකම අමතකව ගොස් ඇති සැටියකි.

අවසාන වශයෙන්, මේ ඔබට මං ගෙන ආවේ ප්‍රිය සෙනෙහෙවන්තියගේ මරණීය වියෝවෙන් ප්‍රකම්පනයට පත් වූ තුන්වෙනි සෙනෙහෙවන්තයාගේ ශෝකාන්තයයි. මෙහි පළමුවැන්න ධම්මික බංඩාරන්ගේ විචාරයක් ලෙසින් පළකල "ඇය යන්න ගියා මැකිලා" ගීතයයි. ඉන් අනතුරුව ඔබ වෙත ගෙන ආවේ මගේ පළමු ස්ව්යං ගීත විචාරය වූ, "පබළු නගේ" ගීතයයි.  මේ තුන් වැන්නයි. එනිසා මෙම විරහ රසය දැන් ඔබ ඕනිවටත් වඩා විඳ ඇතැයි සිතමි. එනිසා තව දුරටත් මේ හා සමාන ගීත ඔබ වෙත ගෙන ඒමට උත්සාහ නොකරමි.

එසේනම් දයාබර මිතුරු මිතුරියනේ මේ ආරාධනය ඔබටමයි. එන්න රසවිඳින්න. ඔබගේ අදහස් පවසන්න. ඔබේ යෝජනා, චෝදනා සහ විවේචන ඉදිරිය සඳහා ඉතාමත්ම අගනේය.






28 comments:

  1. මම හොදටම රසවිඳින ගීයක්...
    කරුණාරත්න දිවුල්ගනයන්ගේ ලයාන්විත හඩ මේ පදවැලට දියයුතු උපරිම සාධාරණය ඉටුකරනවා...
    එ් වගේම ඔබගේ විචාරය අනගියි..

    ජය වේවා!!!!!

    ReplyDelete
    Replies
    1. දිවුල්ගනේගෙ ලයාන්විත හඬ මැකී ගිය එකයි අවුල. මේ ලයාන්විත හඬෙන් මේ කුණුවෙලා ගඳ ගහන සමාජය වෙනුවෙන් මීට වඩා දෙයක් කිරීමට ඔහුට හැකියාව තිබුනා. නමුත් අද ඔහු ඒ දෙයින් මඟ හැරල ඇස් කන් පියාගෙන ඉන්නවා.

      අගය කිරීමට ස්තූතියි විදානෙ..

      Delete
  2. හ්ම්ම් කලින් අහල නෑ, එත් ලස්සන විචාරයක්, හරිම අගෙයි. ඇත්තමයි ඔබට ගොඩක් ස්තූතියි මොට වෙලා යන අපේ රසාස්වාදයට වටින දෙයක් එකතු කිරීම ගැන. ජය වේවා.

    ReplyDelete
    Replies
    1. මගේ අරමුණත් ඒක තමයි සොමියො. මේ ගීත මෙතනින් අහල අමතකකරල දාන්නෙපා. හැකිතරම් සමාජය වෙත ලබා දෙන්න. අපේ පරපුරට මේ ගී රසවිඳින්න ඔබට කල හැකි පුංචි දෙයක් හෝ කරන්න.

      ඉතාම ස්තූතියි ඔබටත්.

      Delete
  3. අද නම් මචං ඔක්කොටම වඩා හිතගියේ අර උඩින්ම තියෙන උඹ ගොතපු කතාවටයි. ආයෙ දෙකක් නෑ ගී විචාරෙත් සෑහෙන්න දැනුනා.

    පොඩි අදහසක්. පුළුවන්නම් විචාර ගේන අත‍ර නිදහස් වෙලාවට මනෝ දන්න ගීත නිධාන කතා වලින් මේ වගේ නිර්මාණ ටිකකුත් කලොත් නරකද?


    රත්න ශ්‍රීගෙ ලිපි පෙළ නම් ඉක්මනින් බලාපොරොත්තු වෙනවා මචෝ.

    ReplyDelete
    Replies
    1. අලුතින් කරපු දේ හිතට වැදිල නේද මචෝ.. උත්සාහය සාර්ථකයි ඒ කියන්නෙ. විචාරයටත් උපරිම සාධාරණ විදියට ලියන්න උත්සාහ කලා.

      අනිවාරෙන්ම මචං මේ ලිවීම ඇතුලට මං දන්න හැම ගී නිධාන කතාවක්ම ගේන්න මං බලාපොරොත්තු වෙනවා. හිතුවට වඩා ඉක්මනින් ඔන්න ඒක පටන්ගත්තා. ගීතයක් වඩාත්ම මගේ හිතට වදින්නෙ ඒක නිධාන කතාව දැනගත්තම.
      රත්න ශ්‍රී කියන්නෙ මගේ ප්‍රියතම ගේය පද රචකයාණන්. එකම එක වතාවයි මුණගැහිල තියෙන්නෙ. ඒත් බොහොම කලබලෙන්. දේශනයකට ආව වෙලාවක බදුල්ලෙදි. නමුත් මං එතුමා ගැන බොහෝ දේ ඇහුවා, කියෙව්වා, බැලුවා. ඉතාම දැඩි ආශාවක් තියෙනවා එතුමාව බොහොම නිදහසේ මුණගැහිලා පැය කිහිපයක් කතාබහ කරන්න. ඉතින් දැනට අහල තියෙන, දැකල තියෙන, එතුමා ගැන විස්තර ඔයාලටත් කියන්නම්. එතෙක් ප්‍රියෝ මං අර දුන්න ලින්ක් එකෙන් එතුමා ගැන තියෙන මගේ පරණ පෝස්ට් එක කියවන්න.

      ගොඩක්ම ස්තූතියි ප්‍රියාටත්.

      Delete
  4. රත්නස ශ්‍රී මං පොඩි කාලේ හම්බෙලා තියෙනවා,ඒ වගේම එච් ඇම් ජයවර්ධන ශුරින් වත්,ඔය හුලංදාව ඉස්කොලේ වැඩ කරලා ඉවර වුනත් අයේ අයේ අවා ,ඒ කාලේ තමා මං හිතන්නෙ ඔහු හොදම නිර්මාණ රැසක් බිහි කරේ ,හුලංදා ඔය ගැන පවා ඔහු අතින් ලියවුණා ,පුළුවන් නම් මනෝ කපු ගේ ශුරීන් ගේ බිම්බරක් සෙනග ගැවසුණ,මට අනික් සින්දුව මතක නෑ මතක් වුනාම කියන්නම් ඒ ගැන පොඩ්ඩක් ලියන්න ...උඩ කතා වගේ දේවල් අදටත් තියෙනවා ...

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි සහෝ අතීත මතකයකින් මේ පිටුව හැඩකලාට. ඔබ ඉතාම සමීපව මේ ශ්‍රේෂ්ඨයන් ඇසුරු කරල තියෙන පාටයි. ඔබේ ඒ අත්දැකීම් අපිට ගොඩක් වටිනවා. ඒ නිසා හැකි වෙලාවක ඒ ආශ්‍රයෙන් ලිපි කිහිපයක් ලියනව නම් ගොඩක් පිං. බිම්බරක් සෙනඟ ගීතය ගැනත් ඉදිරියේදී ලිපියක් ගෙන එන්න බලාපොරොත්තුවෙනවා. රත්න ශ්‍රී මහත්මයා වස්සානය ලියන්නෙත් හුලංදා ඔය ඇසුරු කරගෙනනෙ.

      Delete
  5. විචාරයට උඩින් එකතු කරපු කතාවට වැඩියෙන්ම කැමති.. ඒකේ අමුතුම හැඟීමක් තිබුනා.. අවංකවම මේ සිංදුව මම අහලා නෑලු ඉතින්..

    ReplyDelete
    Replies
    1. එහෙනම් දැං අහමුකො ඉතින්. කතාව එකපාරම හිතේ මැවුනා, අමතකවෙන්න කලින් ලියල දැම්මා. වැඩේ සාර්ථකයි නේද.

      දිනේෂ්ටත් ගොඩක්ම ස්තූතියි.

      Delete
  6. මේ සිංදුව නං අහල නෑ... මං ගාව දිවුලගනේගෙ සිංදු සැට් එකම තියේ ඒත් අහන්න වෙලාවක් නෑ..
    රත්න ශ්‍රී ගෙ මං කැමතිම සිංදුවක් තමා සුදු නෙළුම කෝ සොරබොර වැවේ... මේකත් නරක නෑ...
    මනෝෂ්ගෙ විචාරෙ කියවල මං මේ සිංදුව අහන ගමන්..
    අපූරුවට ඔබ විචාරය කරල තියෙනව...
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. සුදු නෙළුම කෝ සොරබොර වැවේ ගීතයත් ඉතාම සංවේදී නිර්මාණයක්. ඒ ගැනත් යමක් ලියන්නම් ඉදිරියේදී.

      ස්තූතියි මහේෂ් අදහස් දැක්වීමටත් අගය කිරීමටත්..

      Delete
  7. ඇත්තටම මාත් ගොඩක් ආස සින්දුවක් මේක , මන් දන්නේ නෑ මේකේ මෙච්ච්ර ලොකු කතවක් තියෙනවා කියලා , සදුමල් ඔයා ලස්සනට මේක ලියලා තියෙනවා , සුභ පතනවා තවත් ලස්සන දේවල් ලියන්න හැකිවේවා කියලා

    ReplyDelete
    Replies
    1. ගොඩක්ම ස්තූතියි රෝසිකා ඔයාටත්..

      Delete
  8. අර කතාව නම් ගින්දර... සෑහෙන්න හිතට වැදුන කතාවක් !
    මම ඔය සිංදුව අහලා නෑ. අද තමා ඉස්සෙල්ලම අහන්ඩ යන්නේ !

    ReplyDelete
    Replies
    1. කතාව ගොඩක් අයට රහට දැනිලා තියෙනවා එහෙනම්. දිරිගැන්වීමනම් මගෙත් හදවතටම දැනුනා. ස්තූතියි මධුරංග.

      Delete
  9. මනෝෂ්... හරිම ලස්සන සින්දුවක් තෝරගෙන තියෙන්නේ.... එන්න පරක්කු වුණාට කණගාටුව. තාමත් කියවගන්න බැරි වුණා... නිදහසේ කියවන්නම් තව ටිකකින්... කියවලාම ඉතුරු විස්තර කියන්නම්... එන්න පරක්කු වුණ නිසයි මේ කමෙන්ටුව දැම්මේ... තුන්වැනි ගීත විචාරයත් ජයටම ඇති කියලා විශ්වාස කරනවා..

    ReplyDelete
    Replies
    1. ගී පවුරේ.. ගී පවුරේ... ඇත්තටම ඔබලානම් මට ලොකුම ශක්තියක්.

      මං ඒත් බැලුව මොකෝ අද පරක්කු කියලා.

      හොඳයි..හොඳයි.. නිදහසේ කියවලම විස්තර කියන්නකෝ. ඒක තමයි ගොඩක්ම හොඳ.

      Delete
    2. අපේ මනෝෂ්ගේ සදුමල් හී තමන්ගේ අකුරෙන් ලියැවෙන තුන්වැනි ගීත විචාරය..... හරිම සතුටුයි... දැන් පෙනෙනවානේ හංගගෙන හිටපු හැකියාව කොච්චරක් ද කියලා...

      ගීතය ගැන කතා කරද්දි මනෝෂ් ඉතාම රසවත් ගීතයක්.. රත්න ශ්‍රී කියන්නේ ගීත උල්පතක්. ඔහු තම දුෂ්කර සේවයට යන එක ගැන ලියපු කවියක් මගේ බිසවුනේ අසාපන් කියලා පසුව කපුගේ හඩින් ගීතයක් වෙන්නේ... ඒතමයි ඔහුගේ දුක නිර්මාණශීලීව පිටකරපු විදිහ. ඉතින් මේකත් ඔහුගේ අත්දැකීමක් වෙන්න ඇති. ඔහුගේ ඒ අත්දැකීම් මහා නිර්මාණයන් කරලා. ඒක ඔහුගේ විශිෂ්ඨත්වය මනෝෂ්.

      ගීතය ලියැවිලා තියෙන පදවැල හරිම අව්‍යාජයි. හරිම යටහත්පහත් වචන වලින් තමයි ලියලා තියෙන්නේ. ඒකෙන් ම කියැවෙනවා ගැමියා තුළ ඇති අව්‍යාජ බව සහ අහිංසකකම. විශේෂයෙන් ම බිරිද මිය ගිය සැමියෙකුගේ දුක ඒ තුළ මනාව තියෙනවා. ඔබ ඒ හැගීම හරිම සංවේදී විදිහට කතාවකට ගොණු කරලා තියෙනවා. ඒක තමයි මනෝෂ් විවිධ කෝණයන් වලින් නිර්මාණකරණයෙහි යෙදෙනවාය කියන්නේ... ඔබ සාර්ථක ගමනක් ඇති නිර්මාණකරුවෙක් කියලා අපි කියන්නේ ඒකයි...

      විශේෂයෙන් ම මනෝෂ් ඔබගේ ගීත තේරීම් නම් හරිම අගෙයි... ඒවා අපේ සිත් බැදගත් ගීත. මම අසා නැති ගීත කීපයකුත් මං ඔබ නිසා ඇහුවා. ඒවා විශිෂ්ඨ නිර්මාණ.. ඔබ ගීත තේරීම අතින් එකිනෙකට වෙනස් විවිධ හැඩයන්ගෙන් යුත් ගීත විචාරයට ගැනීම අතිශය වැදගත්... ඒ නිසා තමයි ඔබ විශේෂ වෙන්නේ.... ඒ වගේ ම ගීත විචාරය අතින් බ්ලොග්කරුවන් අතර විවිධත්වය පෝෂණය කරන්නා වූ ඔබ අපි අතර සිටින හොද සම්පතක් මනෝෂ්...

      Delete
    3. උත්සාහය බොහෝ දුරට සාර්ථක බව මටත් දැන් වැටහුනා ගී පවුරේ. මං ගීත විචාරකයෙක් වෙන්න පෙළඹුනේ ඔබේ දිරිගැන්වීමෙන්. ඔබ සිත්හ් අයුරු නිවැරදි බව ඔප්පුකරන්න හැකිවීම මං ලබපු ලොකු භාග්‍යක්.

      මේ ගීත මං වඩාත් ප්‍රිය කරන මගේ හිතට තදින්ම කාවැදුනු ගීත. ඒ නිසා ගීතය රසවිඳීමේදී මං ලබපු රසය උපරිමයෙන් ඔයාල අතරට අරන් එන්න මං උත්සාහ කරනවා.

      ඒත් එක්කම සමාජගත විය යුතුම ගීත, එහෙත් සමාජයෙන් සැඟව පවතින් ගීත, අපේ තාරුණ්‍ය අතරින් ගිලිහී යන ගීත, ඔවුන්ගේ ඇස ගැටිය යුතුම, එහෙත් එසේ නොවුන ගීත හැකිතාක් ඔබට සමීප කරලීම තමයි මගේ ලොකුම බලාපොරොත්තුව. ඒ නිසා, මේ ගීතය මං කලින් අහල නෑ ඒත් අද ඇහුවා කියලා කවුරුහරි කියනකොට මට පුදුම සතුටක් දැනෙනවා. ඒක තමා මං ලබන ජයග්‍රහනය.

      වෙනද වගේම හරවත් වටිනා කමෙන්ටුවකින් මේ පිටුව වර්ණවත් කලාට බොහෝම ස්තූතියි ගී පවුරේ ඔයාලට.

      Delete
    4. මනෝෂ්,

      තව දෙයක් කියන්න ඕනේ. ඔබ දැන් දැන් ලියන විචාරයන් කවදාක හෝ පොතක් විදිහට එළිදක්වන එක ගැනත් හිතේ අදහසක් තියාගන්න. එතකොට ඔබ ඊට ගැලපෙන විදිහට නිර්මාණයන් කරනවා. ඒක ඔබේ ගමනට මහත් ශක්තියක් වේවි. අපි උදව් කරන්නම් පොතක් කරන දවසකට. ඒකට ඉලක්ක කරගෙන නිර්මාණයන් කරන්න. මොක ද මේ දේවල් සමාජයට යන්න ඒක වැදගත් ක්‍රමයක් වේවි. අනික ඔබ වැනි ගොඩනැගෙන නිර්මාණකරුවෙකුට ඒක අත්‍යවශ්‍යයි.......

      Delete
    5. අදහස නම් ඉතාම කදිමයි කුරුටු. බ්ලොග් එකකට ලියන නිසා කවදාහරි එහෙම දෙයක් කරනවනම් සංශෝධන ටිකක් කරන්න වෙයි. ඒත් ඒක ඒ හැටි අවුලක් නෙවෙයි. කොහොම උනත් මං මේ ලියපු හැම ලිපියක්ම මමත් වෙනම වර්ඩ් ෆයිල් එකක් විදියට සේවු කරගෙන ඉන්නෙ. අපි බලමුකො අනාගතේ දවසක.

      මෙවැනි යෝජනාවක් ගෙනාවට ඔයාලට ගොඩක්ම ස්තූතියි කුරුටු. මගේ නිර්මාණ දිවියට ඔයාල දැනටමත් ලොකු අත්වැලක් වෙලා ඉන්නෙ. ආයෙමත් බොහෝම ස්තූතියි.

      ඒ වගේම පුංචි මතක් කිරීමක්, ඉල්ලීමක් තියෙනවා කරන්න. අපේ "වර්ණ" බ්ලොග් එක ලියන දිනේෂ් උමගිලිය ඉතාම විශිෂ්ඨ කෙටිකතා කරුවෙක්. ඔබත් නිතර ඔහු සමඟ රැඳෙනවා මං දැකලා තියෙනවා. දවසක් මාත් ඔහුට මේ වගේ යෝජනාවක් කලා. ඔහු කීව ඔහු දැනටමත් වැඩේට අතගහල තියෙන්නෙ කියලා. නමුත් ඔහුට ප්‍රශ්නයක් වෙලා තිබුනෙ හොඳ ප්‍රකාශකයකුගේ අනුග්‍රහය ලබාගන්නෙක. විශේෂයෙන්ම ඔහු විදේශයක සිටින නිසා ඔහුට මේක ටිකක් දුෂ්කර වෙලා. ගී පවුරේ.. ඔයාලට එහෙම විදියෙ උදව්වක් ඔහුට කරන්න හැකි සම්බන්ධතා තියෙනවා නම්, ඔහුට අපි ටිකක් උදවු කරන්න බලමුද මේ වෙලාවෙ.

      http://dineshumagiliya.blogspot.com/

      ඒක නමෙයි කුරුටු, පහුගිය දවසක ඔයාල මගේ ඊමේල් ලිපිනය ඉල්ලලා තිබුනා ටිකක් පුද්ගලිකව මේ නිර්මාණ වල අදහස් බෙදාගන්නෝනි කියල. ඒත් මට තවම මොකුත් ආවෙ නෑනෙ. මං මේ මඟ බලාගෙන ඉන්නෙ. අමතකනම් මෙන්න ආයෙමත්..

      masandumal@gmail.com

      Delete
  10. ආන්න මස්සිනා ට්‍රැක් එකට වැටිලා.. මේ ඉන්නෙ උඹ..අඩිය අඩිය ඔය තියන්නේ..උත්සාහය සාර්ථකයි.ප්‍රියා කිව්වා වගේම අලුත් වෙනස නිර්මාණශීලියි වගේම රසවත්..ඔහොම යං මචං !!!!!

    ReplyDelete
    Replies
    1. එළකිරියෝ, එළිකිරියෝ.. ඔහොම කියනකොට ඉතින් කට දෙපැත්තෙන් හිනා පැණි බේරෙනවෝ..

      ස්තූතියි පත්තර යාළුවේ...

      Delete
  11. මම මේ ගීතය අහලා නැහැ. රත්නශ්‍රී ගැන නම් ආපහු අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. එච්.එම්.කියන්නෙත් තමන්ගේ වටිනාකම නිසිලෙස වටහා නොගත් අතිශය නිර්ව්‍යාජ මිනිසෙක්. දිවුල්ගනේගේ ගීත ඈතින් ඇහෙනවා. ඉස්සර තරම් රසවිඳින්න හිතක් නැහැ. කෑමක් වුණත් කොච්චර රසට තිබුණත් කන්න ප්‍රිය නැහැනේ උයන එකා අපිරිසිඳුනම්. ඔය මට හිතෙන හැටි.

    ගීතය විචාරයට පෙරගත් එළඹුම, බොහෝ විට නොදකින ආරයක්. අපේ කෙතරම් වර්ණනා තිබුණත් තමා පිළිබඳ නිවැරදි තක්සේරුව ඇත්තේ තමන් ළඟයි. කලබල නොවී විචක්ෂණශීලිව ඔබේ මාවත සවිමත් කරගන්න.ආදරයෙන් කියන්නේ.. මතක තියාගන්න ආප්ප බානවා වගේ නිර්මාණකරණයේ යෙදුණ ප්‍රවීණයින්ට පවා අත්වුණු ඉරණම. මනෝෂ්ව ඉලක්කකර කීවා නොවේ.

    ReplyDelete
    Replies
    1. ///එච්.එම්.කියන්නෙත් තමන්ගේ වටිනාකම නිසිලෙස වටහා නොගත් අතිශය නිර්ව්‍යාජ මිනිසෙක්. දිවුල්ගනේගේ ගීත ඈතින් ඇහෙනවා. ඉස්සර තරම් රසවිඳින්න හිතක් නැහැ. ///

      අරූ අයියා අති විශිෂ්ටයි.. !!! 100% එකඟයි උඹ එක්ක !!

      Delete
    2. අරූ අයියේ,

      \\කෑමක් වුණත් කොච්චර රසට තිබුණත් කන්න ප්‍රිය නැහැනේ උයන එකා අපිරිසිඳුනම්.//


      ඔන්න ඔය ටික ඔය විදියටම තමා මටත් දිවුල්ගනේ ගැන හිතෙන්නේ. ඕක ඔච්චර රහට ගලපගන්න බැරි වුන නිසයි අමුවෙන්ම ඒ ටික කියල දැම්මෙ. සහතික ඇත්ත කතාව. දිවුල්ගනේ බිහිකරපු කපුගේ තවම හිටියනම්, අද කපුගේ පසු තැවෙනවා දිවුල්ගනේ ගැන.

      ඔබ දෙවනියට සඳහන් කල කාරණයත් ඉතාම වටිනවා අරූ අයියේ.. තමන්ගේ මට්ටම හරියටම තේරුම් ගෙන නිර්මාණකරනයේ යෙදීමට රචකයා දැනගන්නෝනි. ඒ වගේම තමයි, ලැබෙන ප්‍රතිචාර අනුව ඉදිමෙන්නෙ නැතිව සුපුරුදු ශෛලිය ටිකෙන් ටික වර්ධනය කරගන්නෝනි. එහෙම නැතිව කමෙන්ට්ස්, හිට්ස් බලාගෙන අර කීව ආප්ප සෙල්ලම දාන්න ගියොත් නම් අනිවාරෙන් ආප්පත් කරවෙලා, තාච්චියත් අඩිය අල්ලලා කඩෙත් වහල තමා නතර වෙන්න වෙන්නෙ.

      බ්ලොග් කලාව තුල විතරක් නෙවෙයි, වෙන මොන කලාව තුල උනත් එහෙම තමයි. ගොඩාක්ම ස්තූතියි අරූ අයියේ මේ උපදෙස් වලට. හිස් මුදුනෙන් ඉතාම ආදරයෙන් බාරගන්නවා මේ අවවාද ටික.

      අරූ අයියා කලින් පෝස්ට් එකෙන් මතුකල කාරණාවත් අනිවාරෙන් කතාකරන්නෝනි. නමුත් දැන් මේ පෝස්ට් එකටත් ඒක පරක්කු වැඩියි. මොකද මේ වෙනකොට ගොඩක් දෙනෙක් ඇවිත් ගිහින් ඉවරයි. ඊළඟ පෝස්ට් එකට මං ඒ කාරණාවත් ඇතුලත් කරලම ලියනවා. එතකොට ඒක හොඳ ප්‍රස්තුතයක් වෙයි මුල ඉඳලම.


      Delete
    3. පත්තර මල්ලී,

      උඹල අපි හැමෝටම මේක එකම විදියට දැනෙනවා. පෝස්ට් එක තුලින් දිවුල්ගනේව විවේචනය කලාම මං හිතුවෙ ඔහුට මනාප රසිකයන්ගෙන් ලොකු විරෝධයක් එයි කියලා. ඒත් කිව යුත්ත කිව යුතුම නිසයි ලීවෙ. නමුත් දැන් පේනවා ඔහුගේ වැරදි ගමන් මඟ හැමෝටම තදින් දැනිලා තියෙන වග.

      Delete