Pages

Sandumal

Sandumal
Showing posts with label ගී සංවේදනා. Show all posts
Showing posts with label ගී සංවේදනා. Show all posts

Friday, April 22, 2016

•හිම දියවී හිමාලයේ

"ඉඩ දී දෙන්නට දඩුවම් දෑස පියා ගන්නම් ක්‍රිෂ්ණා..
 ගිලිහී ගියදෙන් මිණි කැට දෑස වසා ඉන්නම් ක්‍රිෂ්ණා.."





කප් සුවහසක් තරම් වූ කාලයක් තිස්සේ බලා සිටි ඒ සොඳුරුතම දිනය උදාවිණි. අනන්තයක් තරම් සිහින මැවූ, කප්පරක් තරම් පැතුම් පිරූ ඒ නිමේෂය පිළිබඳ නැවුම් බීජය රෝපණය වී හරියටම දස වසරකට පසු ඉඩෝරය නිමාවී නැවුම් රිකිල්ලක් සමඟ මහා වෘක්ෂයකට ඉහ ඔසවන ඔවුන් දෙදෙනාගේ ජීවන වෘක්ෂය අද මෙසේ මහපොලොවෙන් ඉහලට එසවීමට පටන් ගෙන තිබේ.

උරුමයක් ලෙස ලක්ෂ ගනන් වස්තු නොමැති නිසාත් ජීවිතය මුල සිටම සරලව පටන්ගත යුතු නිසාත්, සරල සොඳුරු බව නිසකලංකය සියල්ලට වඩාත් අගය කල නිසාත් පවුලේ කිහිප දෙනා පමණක් එකතු වූ ඉතාම චාම් විවාහ මංගලෝත්සවයකින් නිම වූ දෙදෙනාගෙ අතිනත ගැනීම සිදුවූයේ ගමේ පංසලේ නිසල බෝ සෙවණේදීය. ඉන් අනතුරුව දෙදෙනා වඩාත් අකමැති දේ වූයේ අනෙක් සෑම දෙනාම සිදුකරන පරිදි තමන්ගේ ජීවිතයේ වටිනාම මොහොත වන මධුසමය දහස් ගණන්ක් ගෙවා කොන්ක්‍රීට් බිත්ති හතරකින් වටවූ හෝටල් කාමරයක් අඳුරු මුල්ලට වී දින දෙක තුනක් දෙන දෙයක් කා වෙන දෙයක් බලා හිඳීමයි. එනිසාම මුල සිටම සැලසුම් කල පරිදි ඔවුන් මධුසමය සඳහා ඔවුන්ටම ආවේණික වූ වෙනස්ම මාවතක් තෝරාගත්තෝය.

ඒ අනුව ඒ සඳහා තිබූ මුදල් යොදාගනිමින් ඔවුන් සැලසුම් කලේ පුංචි චාරිකාවකි. අඩුම කුඩුම ටිකත්, ඇඳුම් බෑග් දෙකත් සමඟින් ඔවුන් ඔවුන්ගේ කුඩා මෝටර් රථයෙන් මධුසමය සඳහා පිටත් වූයේ ගමනාන්තය පිළිබඳ නිශ්චිත අරමුණකින් නොවේය. ජීවිතයේ මීළ්ඟට උදාවෙන අතිශය තරඟකාරී කාර්යබහුල ජීවන රටාව තුල සිරගතවීමට පෙරාතුව පුංචි ලංකාවේ නොදුටු දසුන් සොයා යා හැකි කදිම අවස්ථාව, මොහොත මෙය බව ඔවුන් වටහාගෙන තිබුනි, පවුල් බරි, දරු මල්ලන්ගේ වගකීමෙන් තඔරව කුරුලු ජෝඩුවක් විලස සැහැල්ලුවෙන් මෙවන් ගමනක් යා හැකි අන් දිනයක් සැබැවින්ම පැවතිය නොහැක.

එම චාරිකාවේ පළමු නැවතුම් පොල ලෙස ඔවුන්ගේ පළමු මංගල රාත්‍රිය සඳහා ඔවුන් තෝරාගන්නා ලද්දේ වස්ගමු වන උයනේ සුමුදු මහවැලි ගං තීරයයි. මහවැලි නදියේ සිහිල් දියදහරින් සන්තර්පණය වී හිරු බැස ගිය අහසේ නැඟුනු සඳ කුමරිය සෙවනේ තරුමල් අහස යට නෑඹුල් යුවල එකට ගුලිවී තුරුලු වී සිටියේ සොබාදහමේත්, ආදරයේත්, ජීවිතයේත් මිහිරියාව හදපත්ලෙන්ම විඳදරාගනිමින්ය. 

ගං ඉවුරෙහි වාඩිවී දෙපා දියෙන් දොවමින් සිටියද, හිම සීතල වෙනුවට මුලු ගතම උනුහුමින් හිරිවැටී යන්නේ සොඳුරු මන්දාලෝකයක් විහිදුවමින් ඇවිලෙන් ගිනි මැලය හේතුවෙන්ද, එසේ නොමැතිනම් දෙහදක අනුරාගී උනුහුම් රුධිර ධාරාවෙන්ද යන වග තේරුම් බේරුම් කරගැනීමට එකිනෙකාගේ දෙනෙත් වෙතම යොමුවී සිටි පෙම් යුවලට අපහසුවාක් මෙනි. 

කුඩා ගල්බොරලු මතින් සිලි සිලි හඬ නගමින් කඩිමුඩියේ ගලන මහවැලි ගං කොමලිය කිරි පෙණ පිඬු නගමින් නව යුවලට සිනාසෙමින් ආසිරි පතද්දී එකිනෙකාට තව තවත් තුරුලු වූ යුවල සැඳෑ අඳුරට මුහුව දහසකුත් රහස් මුමුණන්නට විය. කෙසේ නමුදු සිහිල් සුලං, හිම සීත ජල බිඳිති පරදා සීතල ගිනියම් වෙමින් පැවතුන බව නම් දැනහුන්නේ ඔවුන්ගේම සන්තානයන් පමණි. දුහුල් සලුවෙන් ළමැද මුවාකල මුවැත්තියගේ හදවත් ජලාශයෙහි සියුම් කැලඹිලි වලින් කිතිකැවෙන පපුතුර තව තවත් නිල් දියෙහි දිය රැලි වල උනුසුමට සතපවාගත් යෞවනයා එහි පරමානන්දය විඳගනිමින් තව තවතවත් ඇයටම තුරුලුවූයේ සලුපිලි යට හිඳිමින් අවදිවී ඔහුගේ උනුහුමෙන් කුල්මත් වූ ඇගේ හදවත් නීල ජලාශයේ පිහිනූ හංස පිහාටුවල සුවයද ගතපුරා විඳගනිමිනි. අවධිවී දඟකරන හංස පැටවුන්ගේ දඟකාරකම් වලට සිත්සේ දඩුවම් දීමට ඉඩහැර ඇය දෙනෙත් පියාගෙන තුරුලටම වී සිටියේ සිහින් කෙඳිරියකද නොනැගෙන පරිදි ඇගේ උණුසුම් දෙතොල් ඔහුගේ මුව වෙතම තබාගනිමින්ය.

සඳ එලිය ඇගේ වත මතට පැහැපත්ව වැටී තිබිණි. කහ පැහැති ඇගේ වත එලියෙන් තවත් පැහැපත් වී තිබුනේ ඇත්දළ පැහැයෙනි. ඔහුගේ බඳ මතින් වැටී දුහුල් සලුව ඉවත ඇදී නිරාවරණ්ය වී තිබූ ඇගේ සුමුදු පා සඳ එලියේ වාත්තුකල රන් කඳක් සේ දිලුණි. ඔහුගේ පහසින් ඇගේ සියොළඟම තව තවත් උනුහුම් වී රත් පැහැ වී තුබුනේ වීනස් දෙව් දුව ගං දෑලට වැඩ සිටි අයුරිනි. ඇගේ රූ සපුවේ විචිත්‍රත්වය තවමත් සඟවාගෙන සිටි දුහුල් සලුව සඳ එලිය සමඟින් පොරබඳිමින් සිටියේ සොබාදහමට ඇගේ රූ සිරිය නොපෙන්වා සඟවා සිටීමට මෙනි. නමුදු මෙයින් හෙම්බත්වී හුන්නේ සඳ එලිය, මදනළ, සොබාදම පමණක් නොවෙයි, මේ නිලංකාරයෙන් දෑස් විඩා හැර අගේ රුසිරිය සිත් පුරා, ගත පුරා විඳ දරාගැනීමට සොබාදහමටත් සඳ එලියටත් වඩා අයිතිවාසිකම් කී යෞවනයාද සිටියේ නොඉවසිල්ලෙනි.

නැත එපමණ්ක්ද නොව, මෙතරම් කාලයක් තිස්සේ තමන් සුරැකි තම සොඳුරුතම රුව, යහ ගුණ, නිර්මල ආත්මය ඔහුට පවරා දෙන්නට ඇයද උන්නේ අප්‍රමාණ නොඉවසිල්ලකින්, ආදරය, සෙනෙහස, අපරිමිත දයාබරත්වය, සදාතනික ජීවිතය, දෙදෙනාගෙන් දෙදෙනාට පවරා දීමට මීටත් වඩා කදිම සොඳුරු තවත්නම් මොහොතක් වීද..  නොඉවසිල්ලෙන් බලා හිඳි සඳ සමා වුව මැන.. ඔහුගේ නෙතඳුන් වලට පමණක් උරුම වූ ඒ මිහිරියාව සඳෙන් මුවාකල වළාකුල් සේද සළුවට අප වෛර නොකරමු, සඳ අතුරුදන් වූ මොහොතේ ගිනි මැලයේ ලා එලියෙන් මුදාහල දුහුල් සලුවෙන් නිරාවරණය වූ ඔවුන්ගේ සුමුදු සුමුදු මුදු යහන්තලාවේ ඔවුනට පරමානන්දය සොයා යාමට ඉඩදී, අපද සැඟවෙමු... ඔවුන්ගේ ලෝකයට ඉඩදෙමු.. සුබපතමු..


හිම දියවී හිමාලයේ
යමුනා ගඟ නගයි තරංගා..
සුදු පෙණ කැටි බලන්න රාධා..
සුළඟ හමයි සීතල සාදා..
සීතල ගිනි ගනීද ක්‍රිෂ්ණා..

සිනා රැලි නගා උතුරණ
ඔය හදවත් නීල ජලාසේ..
පීණන මේ ස්වර්ණ හංසයෝ..
අකීකරුද මෙතරම් රාධා..

ඉඩ දී දෙන්නට දඩුවම්
දෑස පියා ගන්නම් ක්‍රිෂ්ණා..

හිම දියවී හිමාලයේ...

මල් පෙති පොඩිවී ඉකිලන
මේ හෝපලු යහන් තලාවේ..
සඳ දිය මිණිමෙවුලට වැටිලා..
දෑස නිලංකාරයි රාධා..

ගිලිහී ගියදෙන් මිණි කැට 
දෑස වසා ඉන්නම් ක්‍රිෂ්ණා..

හිම දියවී හිමාලයේ...

ගායනය : අමරසිරි පීරිස්, වසන්තා තිලකාංගනී
පද රචනය : ධම්මික බණ්ඩාර
සංගීතය : ඩැනිස්ටර් පෙරේරා


(Hima Diyawee - Amarasiri Peiries & Wasantha Thilakangani)


ගීතය අහනවනම්...


Monday, December 14, 2015

•පැන මඩ කඩිති

"සිප් කිරි පෙවූ මූසිලයින් උඩු මාලේ
අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ"







ඉස්සර ඉස්කෝලෙ යනකාලෙ, මට අමාරුම පාඩම උනේ කුලක පාඩම. මොන හේතුවකටද මංදන්නෙ නෑ අනිත් උන් සේරටම ලේසිම පාඩමක් වෙච්ච කුලක පාඩම මට අමාරුම එක උනා. ඒ නිසා මුල ඉඳලම මං හිතන් හිටියෙ ඕලෙවල් වල ගණිත පේපරේ කුලක ගාන අත්තරින්න. හැබැයි.. කවදාවත් නොහිතපු විදියට මට කුලකත් ලේසිම පාඩමක් උනා. ඒ, අපේ අමරවර්ධන සර් අපිට උගන්නන්න පටන්ගත්තට පස්සෙ. 

ඉස්කෝලෙ හිටපු හොඳම ගණිත ගුරුවරයා වගේම ඉස්කෝලෙ ඉඳපු සැරම ගුරුවරු අතරෙ ඉහලම ස්ථානයක් හිමිකරගත්ත ගුරුවරුවරයෙක් හැටියටයි අපි සර්ව දැනගෙන හිටියෙ. හැමෝම අපිට කිව්වෙත්. ඒත්, හරියටම සර් කියන්නෙ මොනවගේ කෙනෙක්ද කියල අපි දැනගත්තෙ සර්ත් එක්ක වැඩකරන්න පටන්ගත්තට පස්සෙ. සර්ගෙන් ඉගෙනගන්න ගත්තට පස්සෙ.

අවුරුදු දහතුනක පාසැල් ජීවිතේදි මං ඕනිතරම් ගුරුවරු දැකලතියෙනවා, ඕනිතරම් ගුරුවරුන්ගෙන් ඉගෙනගෙනත් තියෙනවා. ඒත් සර් වගේ "ගුරුවරයෙක්" මට හම්බෙලා නෑ. ඇස්වහක් කටවහක් නෑ, සර්නම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගුරුවරයෙක්. උගන්නන්න ඒ වගේ හැකියාවක් තියෙන මනුස්සයෙක්.. මටනම් හිතාගන්නවත් බෑ. ඕනිම ගොං මැටිමෝලක් සර් එක පැයෙන්, එක පාඩමෙන් ඔපදාල හැඩකරල ගනී සරස්වතී පිළිරුවක් වගේ. සර්ගෙ ජීවිතේම වෙලා තිබුනෙ උගන්නන එක. දහසක් දෙනාගෙ ඇස් පාදන එක. අනේ මංද, ඉගැන්වීම වෙනුවෙන් ඒ වගේ කැපකිරීමක් සර් කොහොම කලාද කියාල.

සර් අපිට කියල දුන්නෙ ගණිතය විතරක් නෙවෙයි, සර් අපිට ජීවිතෙත් කියල දුන්නා. සර් අපිට සර්ගෙ ජීවිතෙන් අපිට ජීවිතේට පාර පෙන්නුවා. පොත්ත දිලිසෙන ඒත් මදේ හිස්, හක්කෙ බුදු බණ බොක්කෙ දඩමස් තියෙන බොරු හරබර දේසනා වලින් නොවුනත් සර් ජීවත් වෙනගමන් අපිට ජීවත් වෙන්න ප්‍රායෝගික පොතක් උනා සර් අපිට. ගොඩක් ඉස්කෝල වල ඉන්නවා තමන්ට කරන්න තියෙන දේ හරියට නොකර,  ඒක කරනවා වෙනුවට තමන්ගෙ පෞර්ෂ්‍ය ගොඩනඟාගන්න බොරුවට ඇඩ් දාන ගුරුවරු. එක්කෝ කොල්ලෙක්ගෙ කොණ්ඩෙ අල්ලගනී, නැත්නම් කලිසමේ ඇදයක් හොයයි, එහෙම නැත්නම් සපත්තුවේ උල මනින්න හදයි, ඔය මොකක් හරි.නැත්නම් කොල්ලෙක් කෙල්ලෙක්ගෙ ලවු හුටපටයක් හරි අල්ලගෙන ඒක මත්තෙ නහී. ඒත් ඒ ගුරුවරුන්ට මතක වෙච්ච දේ තම එයාල එයාලගෙ ජොබ් එක හරියට කරල නෑ කියන එක.

ඒත් අපේ අමරවර්ධන සර්ට මේ කිසි දෙයක් එච්චර අදාල උනේ නෑ. සර්ට ඕනි උනේ වැඩ. හැමදේටම කලින් හොඳට ඉගෙන ගන්න එක. කොල්ලන්ගෙ කලිසම තියෙන තැන හොයන්න කලින් සර් හෙව්වෙ ඌට පාඩම තේරුනාද කියලා. කොල්ලන්ගෙ සපත්තුවේ උල හොයන්න කලින් සර් හෙව්වෙ උන්ගෙ පැන්සල හොඳට උල් වෙලාද කියලා. කොල්ලන්ගෙ කොණ්ඩෙ, රැවුල කපන්න කලින් සර් බැලුවෙ උන් හරියට සමච්ඡේදකේ කපලද කියලා. අන්න ඒවා හරියට නැතිකොට, සර් දුන්න ගෙදර වැඩ කෙරිල නැතිකොට, සර්ගෙ පීරියඩ් එකක් කට් කෙරුවම, අන්න එතකොටනම් සර්ට අසූ හාරදාහට මල පැන්නා. මල විද්ද කිව්වොත් වඩා නිවැරදියි.

එවැනි බොහෝ අවස්ථාවල කරාටි ඉගෙන ගෙන නැති උනත් සර්,  කොල්ලන්ගෙ පස්චාත් බාගයට සර් බැලන්ස් කරන කික් එකේ අවසන් ප්‍රතිපලය උනේ කොල්ලා ගානට පන්තියේ දොරෙන් එලියට වීසිවෙච්ච එක. අන්න එතකොටනම් සර් පට්ට සැරයි. එහෙම නැත්නම් බොහොම සුන්දර වදන් මාලාවක් සර්ගෙ මුවින් හරිම ලාලිත්‍යවත්ව නිරායාසයෙන් පිටවුනා.

සර්ට එහෙම කේන්තියන්න බොහොම සාධාරණ හේතු තිබුනා. ඇත්තටම සර්ගෙන් ඉගෙන ගන්න කිසිම එකෙක්, සර් දුන්න වැඩක් හරියට නොකර ඉන්න, සර්ගෙ ක්ලාස් එකක් කට් කරන්න, කිසිම සදාචාරාත්මක අයිතියක් නෑ. සර්ගෙ කැපවීම ඒතරම්මයි. ඒ කැපවීමට සාධාරණ වටිනාකමක් නොදෙන උන්ට අම්මප හෙන ගැහුවත් මදි. සර් කිසිම දවසක සල්ලිවලට ඉගැන්නුවේ නෑ. සර් සල්ලිවලට යටවුනෙත් න, විකිණුනෙත් නෑ. ඉස්කෝලෙ බාගෙට උගන්නලා ඉතිරි ටික කරන්න ටියුශන් එකට එන්න කිව්වෙ නෑ සර් කවදාවත්. සර් ටියුෂන් කලේ නෑ. සර්ගෙ ඒ කාලෙත්, ඒ මහන්සියත් අපි වෙනුවෙන් නොමිලෙම වැය කලා.

හැම සතියෙම අඟහරුවාදයි බදාදයි හවස දෙකේ ඉඳල පහ වෙනකල් සර් අපිට අමතර පංති කලා. සතයක්වත් නොගෙන. ඊට අමතරම හැම සෙනසුරාදම උදේ අටේ ඉඳල දොලහ වෙනකල් සර් අපිට ඉගැන්නුවා. සර්ගෙ වියදමෙන් අපිට පාස් පේපර්, ටියුට් ගහල දුන්නා. මේ කිසි දේකට සර් තඹ සතයක් අය කලේ නෑ. ඒ නිසා දුප්පත් පෝසත් හැම එකාම හොඳට ඉගෙනගත්තා. එකොළහ වසර පන්ති හයම එකට දාල අපේ ඉස්කෝලෙ පරණම හෝල් එක වෙච්ච, අපි ආදරේට දැල් හෝල් එක කියපු ශාලාවෙ සර් අපිට අමතර පන්තිකලා.

මට මතක නෑ මං සර්ගෙන් ඉගෙනගත්තු අවුරුදු දෙකට්ම සර් නිවාඩු ගත්ත දවසක්. පීරියඩ් එකට පරක්කුවෙලා ආපු දවසක්. සර්ට, සර්ට කියල ගෙදරක් තිබුනෙ නෑ. සර් හිටියෙ ඉස්කෝලෙම චමරියක. පුංචි චමරියෙ බිත්තෙ හතරට කොටුවෙලා සරුයි සර්ගෙ පුංචි පවුලයි ජීවත් උනා. සර්ගෙ බිරිඳත් ගුරුවරියක්. හැබැයි අපේ ඉස්කෝලෙ නෙවෙයි, වෙන ඉස්කෝලෙක. සර්ගෙ ළමයි දෙන්නත් සර් වගේමයි. බොහොම නිහඬ චරිත. සර් ගෙව්වෙ බොහොම අල්පේච්ච ජීවිතයක්. ටීචත් එහෙම්මයි. හැමදාම සර්ගෙ හෙවනැල්ල වගේ සර් ලඟින්ම හිටිය, හැම දුකක්ම, කරදරයක්ම විඳගෙන. බිතුසිතුවමක් වගේ කවදාවත් සර්ට පිටුපෑවෙ නෑ. සර් වගේම අල්පේච්ච සරල ජීවිතයක් ඇයටත් තිබුනෙ. මාල වළලු අරුමෝසම් වලින් මිදිච්ච, හැබැයි හරිම ලස්සනට පිලිවෙලට ඇන්ද පැලැන්ද ඇයත් බොහෝම නිහතමානි ගුණ යහපත් කාන්තාවක්. සිල්ලර හීන පස්සෙ ගාල කඩාගෙන දුවන හිස් පොෂ් ගෑනු අතර ඇය ඇය පිපිල හිටිය සුදු නෙලුමක් වගේ. සර්ට මහලොකු සල්ලියක් තිබුනෙ නෑ, අතට පයට වැඩකාරයෝ හිටියෙත් නෑ. යන්න එන්න යාන වාහන තිබුනෙත් නෑ. සර් නිතරම ගියේ පයින්. සර්ට ඒක දැනෙන්නෙවත් නෑ. සෙනසුරාද අපිට පංති ඉවරකරල සර් යනව පොළට. අපේ ඉස්කෝලෙ ඉඳල ටවුන් එකට තියෙනවා කිලෝමීටර් දෙකක් විතර. ඒකාලෙනම් රුපිඅයල් හයක දුර. ඒත් සර් කවදාවත් බස් එකේ ගියේ නෑ. සර් ගියේ පයින්. ඒවගේම පොලෙන් ගත්ත බර බඩු මල්ලත් අරං සර් ආපහු ආවෙත් පයින්. ගිනි ගහන අවුවෙ පට්ට දවල් සර් එනවා, ඒත් සර්ට එක දාඩිය බින්දුවක්වත් දාල නෑ. ඒ සර්ගෙ තියෙන හිතේ හයියටද නැත්නම් පිංකාරකමටද නම් අපි දන්නෙ නෑ.

කොහොමත් සමාජෙ හොඳ මිනිහට තියෙන්නෙම කැපිලි කෙටිලි. ඒවගේම තමයි සර්ටත්. ස්ටාෆ් එකේ බොහෝ අය විතරක් නෙවේ, ප්‍රින්සිපල් පවා සර්ට අකුල් හෙලුව මිසක් එක ඩිංගිත්තක සහයෝගයක්නම් දුන්නෙ නෑ. හැබැයි සර් නැතුව ඉස්කෝලෙට කවදාවත් හොඳ ගණිත ප්‍රතිපලයක් ගන්න බැරිබවත් ඒ හැමෝම දන්නවා. ඒනිසා අර කපන්න බැරි අත ඉඹිනවා වගේ සර්ව තියාගෙන හිටිය මිසක් නැත්නම් අනිවාරෙන් මොකක් හරි කොක්කක් දානව උන් සර්ට. පොදු සමාජෙන් බොහෝ ඈත් වෙලා, සමාජශීලි නොවී සර් හිටපු නිසා සර්ගෙ ජීවන රටාව ඒගොල්ලන්ට දිරවන්න නැතුව ඇති. සාද සාජ්ජ, විනෝද චාරිකා, සර්ට හරි ගියේ නෑ. අරක්කු බිඳක්, දුම්වැටියක්, බුලත් විටක් කට අහලකටවත් නොගත්ත සර් හැමවෙලේම පන්සල්වල ලගින්න ගියේ නැතුවට හොඳ බෞද්ධයෙක් වගේ පන්සිල් ආරක්ෂා කරගෙන ජීවත් උනා.

පොල්ගහ ලකුණ රබර් සෙරෙප්පු දෙක දාල, ලා පාට කමිසෙ කලු කලිසමට යටකරල කොහේ ගියත් යන සර් කවදාවත් වයස ගියෙත් නැත්ද මංදා. දැන් අවුරුදු ගානකට කලින් දැක්ක සර්මයි තාමත් ඒ විදියමයි.

එකදවසක් සර් අපිට හවස පංතියේ උගන්න උගන්න ඉන්නකොට අපේ ප්‍රිසිපල්ට හදිසියකට වයිට් බෝඩ් එක ඕනි කියල සර් පාවිච්චි කර කර ඉඳපු වයිට් බෝඩ් එක උස්සන් ගියා. ඒතරම් කෙනෙහිලිකම් සර්ට. ඒදා ඒ වෙලාවෙ වේදනාව තද කරගත්තු සර්ගෙ ඇස්වල බිමට නොවැටුණු කඳුලු දීප්තිමත්ව දිලිසුනු හැටි මට අද වගේ මතකයි. ඒ හැමදේකින්ම තැලෙන්න තැලෙන්න සර් පන්නරය ලබල තව තවත් මුවහත් උනා මිසක් සර් කවදාවත් වැටුනෙ නෑ. ජීවිතේ අනන්ත බාධක දුක් ගැහට විඳල පොලොවෙන්ම පන්නරය ලබපු සර්ට අර කන්දක් ගිල්ල මිනිහට අග්ගලෙත් කජ්ජක්ද කිව්ව වගේ මේ හැමදේම නිකං පයට පෑගෙන දූවිලි වගේ. ඒ සිද්ධිය අපිට මහ දරුණුවටම දැනුනා. සර්ට තරම් දරාගැනීමේ හැකියාවක් නොතිබුන අපි හොරෙන් කඳුලු හංගගත්තා. එච්චරවත් හයියක් නොතිබුන අපේ කෙල්ලො ටික ඇඬුවා. කොහොම හරි ඕලෙවල් ලියන්න යන්න ලෑස්තිවෙලා අපේ කවිකාරියි (සර් එයාලගේ පංති බාර )එයාලගේ යාලුවොයි එකතුවෙලා සර්ට වයිට් බෝඩ් එකක් අරන් දීලා. අනිත් ගුරුවරු වගේ කවදාවත් තෑගි බලාපොරොත්තු නොවුන, දුන්නත් කිසිම තෑග්ගක් නොගත්ත අපේ සර් ඒ තෑග්ග නම් සතුටින් බාරගත්තලු. ඒ ඉදිරි පරම්පරාව වෙනුවෙන්මයි.

සර්ගෙ කැපවීමට, උත්සාහෙට පිං සිද්ධ වෙන්න ඉස්කෝලෙ විභාගෙට ලියපු එවුන් හැම අවුරුද්දෙම හැම එකාම පාස් උනා. එහෙමත් එකෙක් තමයි කලාතුරකින් ගනන් පේල් උනේ. ඉතින් අපිත් ඒ විදියට ඉහලින්ම විභාගෙ සමර්ථ උනා. බොහෝම දෙනා ඉතින් හොඳ හොඳ තැන්වලට ගියා. සමහරු අතාම ඉගෙනගන්නවා. සමහරු රස්සා කරනවා. සමහරු බැඳල ළමයිනුත් ඉන්නවා. සමහරු ගෙවල් දොරවල් හදාගෙන යාන වාහන අරන් බොහොම සැපෙන් ජීවිතේ ගෙවනවා. ඒත් අපේ සාර් තාමත් ඉස්සර වගේම ඉස්කෝලෙ යනවා. ඒ බාටා කෑලි දෙක ඒ විදියමයි. කලිසම, කමිසෙ එහෙම්මයි. සර් තාම පයින්. සර් තාම චමරියෙ.

කාලෙ ඔහොම ගෙවුන. සර්ව අපිට මඟ තොටේදි මුණ ගැහෙනවා. හම්බුනොත් අනිවාරෙන් කතාකරල අපේ විස්තර අහනවා. අපි හොඳින් හොඳ තැන්වල ඉන්නව කියල දැනගත්තම සර් අපිට හොරෙන් හංගගන්න සතුටු කඳුලු අපිට පේනවා. මං කලිනුත් කිව්ව වගේ සර් කවදාවත් මූණෙන් නම් වයස ගියේ නෑ. ඒත් හදිසියේම සර් වයසට ගිහින් කියල අපිට දැනුනෙ අපේ මල්ලිලා දහය වසරෙ ඉන්නකොට හදිසියේම සර් පෙන්ෂන් යනව කියල ආරංචි උනාමයි. මටනම් දැනුනෙ ලෝකෙම නතර උනා වගෙයි. ඒත් අපේ කාලෙ ගෙවිල උදාවෙලා තිබ්බ මල්ලිලාගෙ යුගයෙ ළමයින්ට සර්ගෙ එච්චර වටිනාකමක් තිබුනෙ නෑ කියල උන්ගෙ කතාබහින්ම අපිට තේරුණා. ඒත් සර්, සර්ගෙ යුතුකම අකුරටම ඒ කාලෙ වගේම ඉටුකලා. සර් වෙනස් වෙලා නෑ, ඒත් ළමයි වෙනස් වෙලා. සර් ඉස්කෝලෙ ගෙව්ව අන්තිම කාලෙ සර් කාටවත් වැඩිය සැරවැර උනේ නෑලු, ගැහුවෙ බැන්නෙත් නෑලු. සර් හැමවෙලේම කිව්වලු ළමයිනේ මගේ මේ ඉස්කෝල ජීවිතේ අන්තිම කාලෙ මට ඕනි නෑ පොලිසි උසාවිවල යන්න උඹලට උගන්නන්න ගිහින් කියලා. ඒ තරමට සමාජෙ වෙනස් වෙලා.

සර් සතයක්වත් අයනොකරගෙන මහන්සියෙන් කරපු අතිරේක පන්තිවලට අපේ කාලෙනම අපි හැමෝම එකෙක් නෑර නොවැරදීම සහභාගි උනා. මුලු එකොලහ වසරම, ඒ කියන්නෙ ලමයි 250ක් විතර අනිවාරෙන් සර්ගෙ පංති හිටියා. ඒත්.. කිව්වට විශ්වාස කරන්න, අපේ මල්ලිලාගෙ එකොලහ වසර බැජ් එකෙන් ළමයි තුන්දෙනයි සර්ගෙ පංතිවලට ඉඳල තියෙන්නෙ! ඒත් කෙල්ලො දෙන්නෙකුයි, අපේ එකයි. මං සර් ගැන කියල තියෙන හින්ද අපේ එකා ගියා, ඒත් ඌ කිව්ව විදියට අනිත් උනටනම් සර්ගෙ මේ අපරිමිත කැපවීම අබමල් රේණුවක තරම්වත් වටිනාකමක් දැනිල නෑ. ඒ සර් නිකං උගන්නන නිසා වෙන්නැති. ඒ කාලකණ්නින්ගෙ පවට පින දෙන්න බැ. කවදාවත් නොවිච්ච විදියට උන්ගෙන් කිහිපදෙනෙක්ටම ඒ ලෙවල ණයට කරන්න වෙලා. ඕලෙවල් ගනන් පේල් වෙලා.

සර් පෙන්ෂන් ගියාට පස්සෙත් ළමයි වෙනුවෙන්, ඒ තුන්දෙනා වෙනුවෙන් නොමිලෙ පංති කලා. මගේ ළමයි ටික අනාථකරන්න මට බෑනෙ කියලා. 

සර් ජීවිතේ ප්ලෑන් කරල තිබුන විදිය හරිම පුදුමයි. අපිත් දුක් උනේ කල්පනා කලේ පෙන්ෂන් ගියාට පස්සෙ සර් ඉන්නෙ කොහෙද කියන එකයි. සර් ජීවිත කාලෙම ළමයි වෙනුවෙන් කැප උනා මිසක් සර් වෙනුවෙන් මොකුත් කරගත්තෙ නෑ. සර්ට තිබුනෙ සර්ගෙයි ටීචගෙයි සොච්චම් පඩිය විතරයි. ළමයි දෙන්නෙකුටත් උගන්නන ගමන්. මේ තියෙන සමාජෙ, මේ ආර්ථිකේ ජීවත් වෙන එක මොන යුද්ධයක්ද කියල අපි හැමෝම දන්නවා. ඒත් පෙන්ෂන් ගියගමන්ම ගෙඩි පිටින් අතින් සල්ලි දීල ලක්ෂ දහයකට එකවරම ඉඩමකුයි ගේකුයි ගත්තා. හරි ලස්සන හුරුබුහුටි ගේ පොඩ්ඩක්. නිස්කලංක පරිසරයක්. අපිට දැනුනෙ දරාගන්න බැරි සතුටක්. අපේ සර් ජොබ් එකට ආ දා ඉඳල සතෙන් සතේ රුපියලෙන් රුපියල එකතුකරගත්ත සල්ලි ඒ ජීවිත කාලයක් පුරා. සර් කවදාවත් ලෝකෙට ණය උනේ නෑ. බැංකු වලින් ලෝන් ගත්තෙ නෑ. ඒ වෙනුවට කිලෝ මීටර් ගනන් පයින් ගිහින් සර් රුපියලෙන් රුපියල බැංකු පොතක ඉතිරිකරල ජීවිත කාලයක් පුරා...

සර් අපිට අදටත් මඟතොටේදි මුණගැහෙනවා. අපි සර්ව දකින්නෙ බස් එකේද, පේමන්ට් එකේද, පොලේද, කඩේකදිද, මේ කොහෙදි උනත් දණිස් දෙකම බිම ගහල සර්ට අපි වඳිනවා. හිතේ දරාගත්ත අපරිමිත භක්තියකින්. අපිට යාන වාහන වල යන්න පාර කපල දීල සර් අදටත් පාරදිගේ රබර් සෙරෙප්පු ගෙවෙනකල් පයින් යනවා. එහෙම යන වෙලාවක අපි ටවුමට යද්දි සර් උඩහට ආවත්,අපි අන්තිම හදිස්සි ගමනක් යද්දි සර්ව හම්බුනත්, බයික් එකේ පෙට්‍රල් ලෙල්ලටම හිඳිල බයික් එක බිමට ඇල කරල ස්ටාට් කරගෙන ගියත්, මොන මඟුලෙ කොහොම ගියත් සර්ව හම්බුන ගමන් අපේ ගමන් බිමන් සේරම අතෑරල දාල සර්ව සර් යනතැනට ඇරලවන්නෙ අපි උතුරන සතුටකින්. අපි සර්ව එක්ක යන්නෙ දළදා කරඬුව වඩම්මනවටත් වඩා භක්තියෙන්. සර් අපිට දුන්න දේවල් වලට අලගු තියන්න අපිට ආත්ම ගානකදිවත් බෑ. ඒත් ඒවගේ පුංචිම පුංචි දේකින් අපිට පුලුවන් සර් වෙනුවෙන් අපි පුංචි හරි දෙයක් කලා කියල ආත්ම තෘප්තියක් ලබන්න.

ජීවිතේ අපිට ගුරුවරු හම්බෙලා තියෙනවා, ඒත් මෙහෙම ගුරු දෙවියෙක් හම්බෙලා නෑ. අපි හැමෝම ඉස්කෝලෙ යන කාලෙ අපේ ගුරුවරුන්ට එක එක කාඩ් ගහනවා. අනිවාරෙන් වල් නමක් දානවමයි. අපේ ඉස්කෝලෙත් හැම ගුරුවරයටම එහෙම නමක් තිබුනා. නමක් නැත්නම් අඩුම තරමෙ සර්ගෙ නම කියල සර් නැති තැන්වල කතාකරනවා සර් කෑල්ල නොකිය. ඒක කොලු ගතිය. ඒත්.. එහෙම නමක් නොතිබිච්ච එකම එක සර් කෙනෙකුත් අපිට හිටියා. ඒ තමයි අපේ අමරවර්ධන සර්.. සර් අපිට හැමදාමත් අමරවර්ධන සර්මයි. ඉස්කෝලෙ හිටපු බ්‍රයිටටත්, අහින්සකයටත්, පරයටත්, මැරයටත් මේ හැමෝටම අපේ සර් "අමරවර්ධන සර්" මයි. ගුරුවරයෙක් මොන නම්බුනාම ගරු බුහුමන් ලැබුවත් මේ සම්මානෙ ගන්නෙකනම් බොහෝම අමාරුයි. කිසිම ගුරුවරයෙක්ට ඒක නොලැබෙන තරම්. ඒත් සර්ට ඒක තිබුනා. අපේ සර් වෙනුවෙන් කවදාවත් කවුරුවත් උපහාර උලෙලවල්, ගුණ කථනයන් පවත්වල නෑ, සර්ට එහෙම ඕනිවෙලත් නෑ, පැවැත්වුවත් සර් බාරගත්තෙත් නෑ.

ඒ කොහොම උනත් කවදාවත්ම ගුරුවරයෙක්ට ලබන්න බැරි, අපේ හදවත් වල සර් ගැන තියෙන භක්තියේ, ආදරයෙ, ගෞරවයෙ සදාතනික සම්මානෙ සර්ට ලැබිල තියනවා. මං හිතන්නෙ ගුරුවරයෙක්ට ලබන්න පුලුවන් උසස්ම සම්මානෙ ඒක.

මටත් තියෙනවා හීනයක්, මමත් හෙට අනිද්දට ගුරුවරයෙක්. ගුරුවරයෙක් විදියට මං ගන්න පළවෙනි පඩියෙන් මට ඕනි පහල මං දාල තියෙන සිංදුව බැක්ග්‍රවුන්ඩ් එකෙන් දාල විශාල කරපු සර්ගෙ ෆොටෝ එකක් සර්ට තෑගි කරන්න. ඒ වගේම තෑගි බෝග ගොඩාක් උස්සගෙන සර්ව බලන්න යන්න. ඒක මගේ සිල්ලර සිහිනයක්. ඒත් මට තියෙනවා ඊට්‍ර වඩා ගැඹුරු හීනයක්. ඒ සර් දැකපු හීනයේ සර් කපපු පාර දිගේ, සර් නවත්තපු තැනින් ඉදිරියට ගමන් කරන්න. සර්ගෙ හීනෙට තව තවත් ජීවය දෙන්න.

මං දන්නව, මට වගේම මෙහෙම අත්දැකීම් ඔයාලටත් ඇති. අනිවාරෙන් අපේ ජීවිත කාලෙ තුලදි අපිට මෙහෙම ගුරුවරු හම්බෙනවා. මේ විදියට හදවතටම දැනුනු, ඔයගොල්ලො අද ඔයාල ඔය ඉන්න තැන්වලට ගෙනාපු, ඔයාලගෙ ජීවිත එලිය කරපු, ඔයා;අගෙ ජීවන ගමන මෙහෙම ලසනනට යන්න පාර කපල දුන්න සුන්දර ගුරු දෙවිවරු ඔයාලටත් ඇති. අපි ඒ මතකයන් අවධි කරමු. පඩි අරගෙන ගමට ගියාම, ඒ වයසක මිනිස්සුන්ට මොනාවත් අරං ගියේ නැතත් කමක් නෑ සල්ලි අමාරුයිනම්, ඒත් ඉන්න තැනකට ගිහින් ටිකක් හම්බෙලා කතාකරල වැඳල එන්න. පාලුවෙන් කාන්සියෙන් ඉන්න ඒ මිනිස්සු එක්ක ඒ කාලෙ අතීතෙ මතකයන් බෙදාගන්න. ඒ රත්තරං ජීවිත වලට ඒක කෝටියකටත් වඩා වටීවි. ඔවුන් අපරිමිත ආනන්දයක් ලබාවි.

අපේ දයාබර අමරවධන සර්ට උපහාරයක්ම වේවා.. එතුමන්ට දීර්ඝායුශ ලැබේවා. මේ විදියටම නිදුක් නිරෝගී සුවයෙන් තවත් සුවහසක් කාලයක් එතුමන්ගේ රැකවරණය ලැබීමට අපිට වාසනාව ලැබේවා..!


පැන මඩකඩිති වැව් තාවලු වැහි කාලේ
පෙන්නා මග නොමග නොවැටී යන තාලේ
සිප් කිරි පෙවූ මූසිලයින් උඩු මාලේ
අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ

සාමා අමර විකුණති බස් පොලේ කජු
කුමා‍රෝද පිටු දන්දෙති එයින් මතු
උගත මනා ශිල්පය පිල් කඩ නොපැතූ
වේවැල වටා ඉකිබිඳ දඩුවමක් පැතූ

රන් මසු පටපිළී අභරණ උරන වෙලා
සමන් පිච්ච කැකුළිය ගෙයි මිලිණ වෙලා
තුරු නිවහනේ කඳුලට උල්පතක් වෙලා
ලොකු හාමි‍නේ ඇත බිතු සිතුවමක් වෙලා

පැන මඩකඩිති...

පද රචනය : මහින්ද චන්ද්‍රසේකර
සංගීතය : රෝහණ වීරසිංහ
ගායනය : සුනිල් එදිරිසිංහ


(Pena Mada Kadithi - Sunil Edirisinghe)


ගීතය අහනවනම්...









Monday, December 7, 2015

•පරසතු කුසුමක්

"පරසතු කුසුමක් මා තුරුළට ආවා...
අප යළිදු උපන්නා ඒ දියණි නිසා"







"........උඹ කියන්නෙ මචං, ඊටපස්සෙ මරු සිද්ධිය උනේ හරී..... මූ නසරානි වෙන්න ගසල එනව මචං අපේ ගෙදර...... ඈ.... ඔව් බං, නෑ ඉතින් උඹල දන්නවනෙ.......හරි හරි.. ඔව් ඉතින් මාත් කරටි කැඩෙන පොරනෙ..."

"ඒ වෙලාව කීයද බං???"

"ඇයි බොට කොහෙ යන්නද? අනේ නිකං ඉඳහං බං..."

"නෑ බං දන්නවනෙ ඉතින් ගෑණි බර බරේ.. ඊයෙත් යනකොට එකයි. පවු බං ඒකි, පොඩි එකිත් එක්ක මං එනකල් බලාගෙන ඉන්නවා"

"අල්ලල දාහං බං... හැමදාම සෙට් වෙනවද... නෑනෙ.. මං නං වයිපට තේරුම්කරල දෙනව බං..."

"යකෝ... ටිකක් තෙරුම් ගනින්.. උඹ ඔය තාම පොඩි එකා වගේ දැඟලුවට උඹත් කසාද බැඳපු මිනිහෙක් නේද.."

"අනේ පලයන්ඩෝ... බලහං දාසයි මාසයක් වත් පේනවද.. බැන්ද කියල මං කඹේකින් ඔතලැයි බං.."

"නෑ මචං, උඹලට තේරෙන්නෙ නෑ.. උඹට තේරෙයි ටික කාලෙකින්, බොටත් මඟබලන් ඉන්න දරුපැටියෙක් එහෙම ඉන්න දාට..."

"පිස්සුද බං... ඒත් මං මේ ආතල් එකේම ඉන්න දිනෙත්ම තමයි බං... මොකෝ මං ගෙදරට අඩුවක් පාඩුවක් කරන නෙවෙයිනෙ බං.. යුතුකං සේරම ඕ..කේ.... මේ මගේ ආතල් එක... ඒක නෙවෙයි, ඒ මචෝ.... අල්ලහං කපුගේගෙ නම්බස් එකක්...."

'...රුවක් ඇදෙනවා.. කවුදෝ එනවා...
මීවත ඇඳිරිය දෑස වසනවා...'

මේ අපේ කතානායකය.. නියම පිස්සු ඩයල් එකක්. ආතල් ලෝකයක්.. සුපිරි බොක්කක් තියෙන හිත හොඳ සුපිරි කොල්ලෙක්.. කොල්ලෙක් කිව්වට කොල්ලෙක්ම නෙවෙයි, නාකි පැත්තට බරයි ටිකක්. ඒත් මිනිහ හිතන් ඉන්නෙ තාම ගැටය කියලා!! කනපැලෙන්න අඩියක් ගහල, හීනියට වමනෙ පාරකුත් දාලා පාර අයිනෙ කුණු කාණුවක හරි එලිවෙනකල් වැටිල ඉඳල ඊකෙනුත් ෆන් එකක් අරන් සුපිරියට ජීවිතේ විඳින යාලුවො වෙනුවෙන් පණ උනත් දෙන ගින්දර පොරක් විදියට තමයි යාලුවො මේකව දන්නෙ.

******************************************************

"ස්වීටී..... කෙල්ලේ... මං ආවා.."

"ආ... ආවද අදත් යාලුවොත් එක්ක සෙට් වෙලා.. අනේ මංද දිනෙත් ඔයානම්.."

"හරි හරි බබා... මං කොච්චර කාලෙකින්ද ලංකාවට ආවෙ.. ඉතින් යාලුවො කොච්චර ඉන්නවද හම්බෙන්න..උනුත් මං එනකල්නෙ ඉන්නෙ බබා..."

"අන්න ඒකම තමා මහත්තයෝ මටත් තියෙන ප්‍රශ්නෙ... ඔයා ඔච්චර කාලෙකින් ලංකාවට ආවමත් ඔයා මං ළඟ නෑ.. මං කොච්චර ආසාවෙන්ද බලං ඉන්නෙ ඔයා එනකල්.."

"ඉතින් මේ ඉන්නෙ මං ඔයා ලඟම.. ඈ..."

"හරි හරි යං ගෙට..."

"මේ.. මගෙ මහත්තයට කියන්න දෙයක් තියෙනවා.. හැබැයි දැං කියන්න බෑ.. "

"ඒ මොකද්ද ඒ බබා.. ඇයි දැන් කියන්න බැරි??"

"ඒව ඔහොම අවසිහියෙන් ඉන්න මිනිස්සුන්ට කියන්න බෑ හරිද... පියවි සිහියට ආවම හෙට උදේම කියන්නම්.."

"අනේ බබා..."

"අනේ තමා.. හෙට කියන්නම්. දැන් ගිහින් නිදාගන්න.. චික් ගඳ..."

"හලෝ මේ ගඳ නෑ හරී.. වෙරි විතරයි.. ඒව ස්පෙෂල් බ්‍රෑන්ඩ්ස්..."

"හරි හරි.. නහය නැති ඌරන්ට ගඳ නෑ තමා!!"

මූට පන වගේ ආදරේ කරන මේ වගේ කෙල්ලෙක්ම ඉන්න නිසා හොඳයි. නැත්නම් මුගෙ ගෑනි මුගේ කොන්ද කඩල මෙලහට හුඟක් කල්. මේ කනමදය අද මෙහෙම ගෙදර ආවට මූ නොදන්නවට අද බොහෝම වැදගත් දවසක් මුන් දෙන්නටම. ඒත් ඉතින් මූට කොහොමද මෙහෙම මේව කියන්නෙ. ඉමුකො හෙට උදේ වෙනකල්.

******************************************************

"හ්ම්... ඇහරුනාද.."

"ඔව්..ආ....... කීයද වෙලාව??"

"කීය උනත් කමක් නෑ අදනම ගෙදරින් එලියට බහින්න දෙන්නෙ නෑ.."

"ම්... මේ ඒකනෙවෙයි.. අර මොකද්ද ඊයෙ රෑ කීවෙ කියන්න දෙයක් තියෙනවා කියල.. දැන්වත් කියනවකො..."

කලින්දා සූර් මතේට සුමානයක් නිදිමැරුව වගේ ඇස්ගෙඩි ඉදිමෙච්චමාසයක් සේලයින් දුන්න වගේ පරඬලා වෙච්ච අපේ කතානයකයගෙ සිරුර් උඩින් ඈ වැතිරුණා.. කනට කරල රහසක් කිව්වා.

"මොකක්??" දෙයියනේ ඔය හැබෑවක්මද.."

"ඔව් කොල්ලෝ..."

"අනේ මගෙ මැණිකේ......"

"ඒයි.. මේ මොකද.. දෙයියනේ වැටෙයි මං..... පිස්සෝ මාව බිමින් තියනවකෝ... ඒ කොහෙද මේ යන්නෙ..."

අහපු ආරංචිය මුගේ කනට මීපැනි වක්කරා වගෙ. දැනිච්ච සතුටට මේක කෙල්ලත් උස්සගෙන ගේ වටේ දුවනවද මංද..


"මට මේ සතුට දරාගන්න බෑ කෙල්ලේ.. ඉදින් මං යාලුවො ඔක්කොටම කියනවා.."

"හා හා මේ... යාලුවන්ට කිව්වට කමක් නෑ, මේකත් තව පාටියකට හේතුවක් නම් කරගන්නෙපා හොඳේ..."

"හරි හරි ළමයෝ..."

"ඒ මචෝ... අහපන්කො... පොඩි සීන් එකක්.. ඔව් බං.. ඒකයි මං මේ කියන්න ගත්තෙ.. නෑ නෑ බං, එහෙම එකක් නෙවෙයි..... යකෝ...... ඔන්න උඹලගේ දිනෙතයත් දැන් තාත්ත කෙනෙක් බොලවු...!!!!! ..... ඔව් යකෝ ඔව්....  මේ.. මේ.. මේ.. පිස්සු කෙලින්නැතුව හිටු...  යකෝ මං දැන් හොඳ පියෙක් හරී..."

ඔන්න ඕකයි සිද්ධිය... මිනිහ තාත්ත කෙනෙක් වෙලා.. සතුට දරාගන්න බෑ පොරට. දන්න කියන හැම යාලුවෙක්ටම කතාකරල මේ සුබ ආරංචිය කිව්ව මෙයා. හැමෝම මූට බොක්කෙන්ම සුබ පැතුවා. විහිලු කලා. අවවාද දුන්න, උපදෙස් දුන්නා..

******************************************************

"බබා... මොනා කරන්නද ඉතින්.. මට යන්නම වෙනවනේ... මං යන්නෙ අපි දෙන්නයි මේ බඩේ ඉන්න අපේ පැටියයි වෙනුවෙන්මනේ.. ඒ නිසා දුක්වෙන්න එපා හරිද.. කාලෙ ඉක්මනට ගෙවෙයි... අම්මලා ඔයාව මලක් වගේ බලාගනී.. හරියට බේත් හේත් ටික ගන්න. ඩොකටර්ස්ල කියන විදියටම ඉන්න.. ආ.. මතකනේ ගොඩක් පළතුර කන්න ඈ... එතකොට අපේ පැටිය කහ කෑල්ල වගේ ඉඳී!!.. එහෙනම් මං යන්නම් කෙල්ලේ.. අපේ පැටියගෙ මූණ බලන්න මං ඉක්මනටම එනවා.."

කොච්චර අකමැත්තෙන් උනත් අපේ මේ කතානායකයට සතියකට දෙකකට පස්සෙ ඔන්න ඔහොම කියලා කටුනායකින් ප්ලේන් එකට නගින්න උනා. මොනා උනත් රස්සාව කරගෙන ඉන්නැපැයි.. හැබැයි.. ප්ලේන් එකට නැංගෙනම් ප්ලේන් එකෙන් බැස්ස දිනෙත් නෙවෙයි.. මේ දවසට දෙකට් මූ සෑහෙන්න පරිණත වෙලා. පණ්ඩිත වෙලා. ඇයි ඉතින් දැන් තාත්තා කෙනෙක් නොවෑ.. කලින් වගේ පුලුවනෑ...

ලෝකෙටනම් දින සති ගෙවුනෙ වේගෙන්,. ඒත් අපේ දිනෙත්ටයි, වයිෆ්ටයිනම් එහෙම නෑ.. ලෝකෙ දෙකොනකට වෙලා ඒත් හිතින් එක ලඟට වෙලා දිනෙන් දින මෝරන ඇගේ කුස පිරිමදින් කාලෙ ගෙව්ව දිනෙත්.. දැන් නම් මූ ගෙදරට ගෑණිට දවසකට වයිබර් කෝල් ගන්න වාර ගනන දහ දොලොස් ගුණයකින් වැඩිවෙලා. ඊට සාපේක්ෂව අපිව මතක් වෙන වෙලාව ප්‍රතිලෝමව සමානුපාතිකව අඩුවෙලා!!

කොහොම කොහොම හරි ඉතින්, ඉබි ගමනින් කාලෙ ගෙවුන මුන් දෙන්නටත්.. අන්තිමට ඒ දිනේ උදා උනා.දිනෙත්ගෙ වයිෆ් දියවඩන නිළමේ වගේ වෙලා. දිනෙත්ටත් ආපහු ගම් රට බලා එන්න දිනේ උදාවෙලා. මූ ආව ආයෙත් ලංකාවට..

******************************************************

ජෙනරල් හොස්පිටල් එකට දිනෙත් කාර් එක ඩ්‍රයිව් කලේ පිස්සුවෙන් වගේ.. මිනිහ හිනා වෙනව, සිංදු කියනවා එක කෙලියයි. මේක ගිය හැටියට එදා මූ වෙනුවෙන්ම ට්‍රැෆික් එකේ අය අන්ධවෙලා හිටියද මංද. නැත්නම් දඩ කොලයක් පට්ට ෂුවර්...

ඔව්.. රෝහලේ සයනයක් මත ඇය සිටියා... ඇගේ මූණෙ දිනෙත් දැක්කෙ මින් පෙර කවදාවත් නොදැක්ක අමුතුම මන්දහාසයක්.. ඒක කොහොමද කියන්නෙ. මවු පදවිය තිලිණ ලත් මේ ලෝකෙ හැම සුන්දර අම්මෙක්ගෙම මුහුණෙ මැවෙන ආදරය, කරුණාව, අසීමාන්තික සෙනෙහස කැටිකොටගත් ජීවිතයේ බහ තෝරන මහ අමුතුම සිරියාවන්ත ගැඹුරු හිනාවක් ඒ මූණෙ ඇඳිලා තිබුනා.

උන්නු තැනම ගල් ගැහිලා ඒ මූණට වශී වෙලා දිනෙත් ඒ දිහාම බලන් උන්නා.. ඇගේ දෑසෙ දෙසම. ඒ දෙනෙත් හෙමි හෙමිහිට පහලට නැඹුරු උනා. ඇගේ වම් ඇලය දෙසට පහත් උනා. ඊට සමාන්තරව දිනෙත්ගෙ දෙනතත් ගමන් කලා. එතකොටයි ඔහු දැක්කෙ මේ මිහිමත සොඳුරුතම වස්තුව ඇගේ තුරුල්ලෙ උණුහුමට ගුලිවෙලා සුව නින්දක සිටින අයුරු.. රෝසම රෝස පාට බෝනික්කියක් හොඳට නිදි..!

"මගේ මැණික.. ඔයාට හුඟාක් පිං... ඔයා මාව බැන්ද දවසෙ මගේ ජීවිතේ එළිය කලා. ඔයා අද ඔයා එලිය කරපු ඒ ජීවිතේට අරුතක් එකතු කලා.."

අපි දන්නෙ නැහැ ඇගේ ඔලුව අතගාල පහත්වෙලා නලලට හාද්දක් දුන්න වෙලේ දිනෙත් ඇයට ක්‍රහසින් කිව්වෙ මොනාද කියලා. ඒත් අපි දන්නවා දිනෙත් හිතුවෙනම් ඔය උඩින් කිව්ව දේම තමයි කියලා.

******************************************************

ඔන්න ඔහොම ජීවිතේම පිස්සුවක් කරගෙන හිටපු ඒත් සීරියස් කොල්ලෙක්ට අලුතින් ජීවිතේ ලැබුන. ඌ අපිට කෙලින් නොකිව්වට අපේ හිත් දන්නවා, අපිට දැනෙනවා ඌ ඌටම වෙච්ච පොරොන්දු, ඒ අලුත් ආත්මෙ උගේ ජීවිතේ වෙලාගත්ත ඒ දවසෙ. ජීවිතේ වෙනුවෙන්, මේ රත්තරන් කෙල්ලගෙයි, ඒකිගෙ අම්මගෙයි අනාගතේ ලස්සන කරන්න හිත යටින් ඌ ඇඳපු සැලසුම්. තාමත් තොරතෝංචියක් නැතිව කියවන, ආතල් කොල්ලෙක් උනාට ඌ ඒ යටින්, උගේ ඇස්වල ගැඹුරින් අපිට දැනෙනවා ඉස්සරට වඩා නැවුම් ජීවිතයක්. මහප්‍රාණ බැල්මක්. කොටින්ම කියනවනම් ජීවිතේ ගැන බලාපොරොත්තු පිරිච්ච, අලුත් කෝණෙකින් ජීවිතේ දකින, අනාගතේ බර දරාගත්ත, සෙනෙහෙබර පියෙකුගේ රූපයක් අපිට පේනවා මේකගේ දෙනෙත් තුලින්..

******************************************************

"රත්තරන්... මට සමාවෙන්න. කොච්චර අමාරුවෙන් උනත් මට මේක කරන්නම වෙනවා. ඒ මේ දූ පැටියගෙයි, අපෙයි අනාගතේ වෙනුවෙන්මයි.. හ්ම්.. මං දැන් තාත්ත කෙනෙක් නොවෑ.. ඉතින් ජීවිතේ මේ බර දරන්න, අදින්න මට පුලුවන්. වැව් බැම්මක් වගේ දුක් උහුලන්නත් පුලුවන්.. ඒ නිසා බබෝ මට ඉතින් යන්නම වෙනවා. මං ආයෙත් ඉක්මනටම එනවා. එනකල්, අපේ මේ පුංචි සුරංගනාවිවත් පරිස්සම් කරගෙන ඔයත් හුඟක් පරිස්සමඉන් ඉන්න හොඳේ.."

දියමන්ති වගේ දිලිසෙන එහෙට මෙහෙට දුවන දෙනෙතින් ඔහු දෙසම බලාගෙන, පුංචි අතින් ඔහුගෙ ඇඟිල්ලක් දැඩිව අල්ලගෙන අම්මගෙ තුරුල්ලෙ ගුලිවෙලා ඉන්න ඒ අහිංසක මූණ ඉඹල දයාබර අම්මගෙත් මූණ ඉඹල අපේ දිනෙත් මෙහෙම කිව්වෙ කටුනායක එයාපෝට් එකේදි. නිවාඩුව ඉවරයි.. ආයෙ යන්න වෙනවා. දරන්න බැරි දුකක් ඒ මුහුණු දෙකේ පිරිල. ඒත් මොනව කරන්නද යන්නම වෙනවා. කොච්චර පඬි වදන් දෙඩුවත්.. මේ වෙන්වීම දරාගෙන මේ කිරිකෝඩු තාත්තට ඉන්න පුලුවන් උනේ බොහොම ටික වෙලාවයි. ඊළඟට බිඳිල ගිය වැව් බැම්මක් වගේ ඔහුගේ හද තුල සිරව තිබූ අපරිමිත දුක කැඩී බිඳී විසිරී ගියේ, ඔහු පමණක් නොව ගුවන් තොටුපලම හ්ඬවමින් වගෙයි. පුංචි සුරංගනාවියි, එයාගෙ අම්මයි බදාගෙන ඒ පිය සෙනෙහස උතුර උතුර කඳුලුවලින් පිටාර ගියහැටි අදටත් කතාවෙනව එතන හිටපු දිනෙත්ගෙ අතිජාත මිත්‍රයන්.

කොහොම උනත් හැමදේම ඉවසගෙන ආයෙත් ඉක්මනට එන්න බලාගෙන ඔහුට යන්නම උනා. මගී පර්යන්තෙන් නොපෙනී යන ඔහු දෙස කඳුලු පුරෝගෙන හැමොම බලන් හිටියා. දිනෙත්ව ඇරලවන්න එයාපෝර්ට් එකට ඇවිත් ඉඳපු ඔහුගෙ යහලුවන් දුටුවෙ වෙනදට හිනාවෙවී, කෑකගසමින්, විහිලු තහලුවෙන් පිස්සෙක් වගේ දඟලන සෙල්ලක්කාර දිනෙත් නොවෙයි, ඒ වෙනුවට ඔවුන් දුටුවෙ පිය සෙනෙහසින් හදවත බරකරගත්, දුක් වේදනා සන්තාප දරාගෙන අනාගතේ වෙනුවෙන් පියමං කරන සෙනෙහෙබර පියෙකුගේ  ඡායාවක්..



ඉතින් අපි සුබපතමු ඔවුන් ගේ ලස්සන අනාගතයට...



"පරසතු කුසුමක් මා තුරුළට ආවා
ලෝකය මොහොතක් නතර වුණා
දියණි දෙනෙත් සැලුනා
අප යළිදු උපන්නා
ඒ දියණි නිසා

උයන් පුරා මං සුවඳ ඉසිනවා
රුවන් වලාවන් යහන සදනවා
ඇසින් කඳුළු වී සතුට ගලනවා
සුරන් සමඟ දූ කුමරි නිදනවා

සුරන් සමඟ දූ කුමරි නිදනවා

පරසතු කුසුමක් මා තුරුළට ආවා
ලෝකය මොහොතක් නතර වුණා
දියණි දෙනෙත් සැලුනා
අප යළිදු උපන්නා
ඒ දියණි නිසා

සවි වී සියළු යස ඉසුරු කිරුළු ලා
නොවිඳි මහිම දියණිය ගෙන එනවා
ලොවම එරෙහි වෙද ඒ දුක පිසදා
දියණි යළිදු අපගේ ලොව වෙනවා

දියණි යළිදු අපගේ ලොව වෙනවා

පරසතු කුසුමක් මා තුරුළට ආවා
ලෝකය මොහොතක් නතර වුණා
දියණි දෙනෙත් සැලුනා
අප යළිදු උපන්නා
ඒ දියණි නිසා"


ගායනය - දීපිකා ප්‍රියදර්ශනී සහ ආචාර්ය රෝහණ වීරසිංහ
පද රචනය - බන්දුල නානායක්කාරවසම්
තනුව හා සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ


(Parasathu Kusumak - Deepika Priyadarshani & Rohana Weerasinghe)


ගීතය අහනවනම්...



*******************************************

පසුව ලියමි

දයාබර පත්තරයෝ... මේ උඹ වෙනුවෙන් පුංචි තිලිණයක්... පුලුවන් හැටියට අපිට... අපේ සින්දු ඇනෝගෙනුයි.. මගෙනුයි.....

තෑග්ග දෙන්නනම් ටිකක් පරක්කු උනා.. සමාවෙයන් ඒකට හොඳේ...




Monday, July 27, 2015

•පින්නේ රැයේ


"මල්ලියෙ කොහේ කොතැනක නුඹ සිටිනවද..."






"යකෝ මං මෙච්චර නැහීගෙන දඟලන්නෙ තොට හොඳට උගන්නල මිනිහෙක් කරන්න. මේ විදියට නන්නත්තාරෙ ගිහින් කාලකණ්නි වෙන්න වටිනවද උඹට."

"යකෝ මේක පුදුම කරුමයක් උනානෙ. උඹට ඉගෙන ගන්න බැරිවෙච්ච එකට මංද පලි? උඹට හැබෑ කරගන්න බැරිවෙච්ච හීන උඹ මගෙන් දකින්නද හදන්නෙ?"

"පාහරය, වටිනවද උඹට උඹේ අයියට ඔයවගේ කථාවක් කියන්න. යකෝ මගේ ඉස්කෝලෙ ගමනත් නවත්තල දාල මං ගල් වලේ ගල් තලන්නෙ උඹට උගන්නනන්න. එහෙව් මටද උඹ ඔය දැන් ඔහොම කතාකලේ?"

"ඔව්,ඔව්, ගෙදර හැමෝතම හැමදාමත් මං පාහරය, බල්ල, කාලකණ්නියා.තොපි සේරම හොඳයි. මමයි වරදකාරයා"

"අනේ බොලවු.. මට කනක් ඇහිල ඉන්න දීපියව්කෝ, ගෙට ගොඩ වෙච්ච වෙලේ ඉඳලා තොපි දෙන්නගෙ අඩව්ව."

"අම්මෙ ටිකක් අම්මත් තේරුම්ගන්න. මූට ඕනි ඕනි පදේට හැමදාම නටන්න දීල මූව නන්නත්තාර වෙන්න අරින්න පුලුවන්ද. මං ගල්වලේ ගිනි කූටකේ ගල් තලන්නෙ ඒකටද. ඇයි මේ මීමට ඒක තේරෙන්නෙ නැත්තෙ? කන්න බොන්න ටික ගෙන්ත් දෙනවනම්, අධ්‍යාපනේට අඩුපාඩුවක් නොකරනවනම් මූට හෙනද ඉස්කෝලෙ වැඩ ටික හරියකට කරගෙන හොඳට ඉගෙනගන්නෙක."

"උඹට අයිය හැමදාම කියවන්න තියෙන්නෙ ඔය ටිකනෙ. උඹේ ඔය මහ ලොකුකම උඹ අපිට කන්න ටිකක් ගෙනත් දෙන එකනේ. මං ගෙදරට වෙලා උඹෙන් නිකං කකා ඉන්න නිසානෙ මට උඹේ ඔය ලොකුකම් ඔක්කොම බලන් ඉන්න වෙලා තියෙන්නෙ. ඉඳින් මං හොඳ වැඩක් කරන්නම්."

"පෙනේද අම්මෙ මේකගෙ කට. මූ මොකෙද්ද. මූ මොනාද මේ කියවන්නෙ. මේවට අම්මත් වැරදියි. අම්මගෙ බුරුල තමයි මේකගෙ මේ නහරං කමට ලොකුම හේතුව."

"අනේ ඉතින් තොපි සේරගෙම සේරටම අන්තිමේ වැරදි කාරයා මේ නාකි මං තමයි. අනේ මංද බොලවු උඹල තව කල් යනකොට මේකෙ මරාගනී. පොඩි එකෝ, ඒ ගමන උඹ ඔය කොහෙද යන්නෙ කඟවේනා වගේ. අනේ මංදන්නෑ කොල්ලනේ උඹලට මොන යක්කු වැහිලද කියලා."

***********************************************************************************************************************

තෙදවසකට පෙර ගොම්මනක මේ ඉඳි කඩුල්ල ලඟම සිදුවූ මේ දෙබස මේ දැන් දැන් වගේ මගේ කන් තුල තවම දෝංකාර දෙන්නේ මා මහා වැරදි කරුවකුයි මටම හඟවමිනි. තාත්තා අකාලයේ අප හැරදා ගිය දිනේ සිට කණකොක් පාට වෙච්ච අපේ ජීවිතේට කොහොම හරි එළියක් එකතුකරගන්න මං නොකරපු දෙයක් නැති තරම්. තනිවූ අම්මගේත් මල්ලීගේත් සියලු බර උරහිසට ගෙන ජීවන සටන් පිටියට මා බැසීමට තීරණය කලේ, පිය සුව්ඳ නික්මුණ පැල්පතක වැඩිමහල් දරුවාගෙ යුතුකම දෝතින්ම දරාගනිමිනි. 

උසස් පෙළ පංතියට ගොඩවී දෙමසක් ගත වෙන්නටත් මතු පාසැල් දිවියට සමුදී රතු මහත්තයාගෙ ගල් වැඩපලේ මා සේවයට ගියේ අඩවන් වූ වූ පාසල දොර දයාබර මලණුවන්ට හට වඩ වඩාත් විවර කර දෙමිනි. එදා සිට මාගේ ජීවිතයේ පරම සිහිනය වූයේ ඔහුට හොඳින් ඉගැන්වීමත්, මෑණියන් පෝෂණය කිරීමත්ය.

නමුදු පිය සෙනෙහයෙන් රැකවරණයෙන් මිදුනා වූද, මවු තුරුලෙහි තව තවත් සුරතල් වූද, මා දයාබර මලණුවන් හට අප තිදෙනා වෙනුවෙන් මා දුටු සිහිනය කැප නොවුනා සේය. නිදහසේ තටු විදා පියෑඹූ කුරුල්ලකු වූ ඔහුට ජීවිතයේ ගැඹුර පිලිබඳ අදහසක් තුන් සිත් මානයකවත් නොතිබූයේ ඔහුගේම වරදින්යැයි මා නොකියන්නේ ඔහුට එම ගැඹුර පෙන්වීමට තරම් නිවනක් මා හටද නොවූ හෙයිනි.

එහි අවසාන ප්‍රතිපලය වූයේ බොහෝ සැඳෑ යාමයන්හීදී අප නිවස තුල සිදුවූ ඉහත ආකාරයේ බහින්බස් වීම් හා මත ගැටුම්ය. නමුදු අද එය කවරදාකටත් වඩා උග්‍ර වී ඇත.

"අනේ දෙයියනේ මගෙ කොලුව... ඒක කොහේ ගිහින් ඇත්ද, මොන වැඩේ කලත් ඌ යසට හිටියා. ඉස්කෝලෙන් කට්ටි පැනපු එක ඇත්ත. කොලු රෑන එක්ක දඩාවතේ ගිය එකත් හරි. පොතක් අතින්වත් ඇල්ලුවෙ නෑ ඌ. ඒත් හැම හවහකම ඌ මගෙ උකුලෙ හිටියා. හීන් එකෙක් වගේ මට කියල බත් කව්ව ගත්තා. අනේ අද ඌ කෝ.. ලොකු පුතේ මට ඌව කොහෙන් හරි හොයල ගෙනත් දියන්, නැත්නම් මගෙ පපුව පැලෙයි.."

අම්මා මේ වක්‍රාකාරව පවසන්නේ මල්ලී පෙරේදා රාත්‍රියේ ලිපියක් ලියා තබා හොර රහසේම මහ රෑ අප හැර ගෙදරින් පලා ගිය හේතුවට මා වරදකරු වන බව නොවන්නේද. නො එසේනම් මා හද අභ්‍යන්තරයෙන්ම මගේම හෘද සාක්ෂියද මට අඟවන්නේ මා වරද කරුවකු බවටද. මා හට නොතේරේ. දන්නා එකම කරුණනම්, කුමන හෝ දුකක් විඳ මා උත්සාහ ගත්තේ ඔහුට හොඬ අධ්‍යාපනයක් ලබා දී මට විවර නොවූ සොඳුරු ලොව ඔහුට විවර කර දී මෑණියන්හටද නිරාමිස සතුටක් ලබා දීමයි. ඒ වෙනුවෙන් මම දහදිය හෙලීමි. දුක් විඳීමි, ඔහුට හරි මඟ කියාදීමට උත්සාහ කලෙමි. හොඳින් බැරිකොට බැණ වැදී හෝ උත්සාහ කලෙමි. නමුදු ඔහුවත්, කිසිවෙකුවත් මගේ ව්‍යායාමය වටහාගෙන නොමැති වී ඇත. මෑණියන් පවා දැන් මා දකිනුයේ ඇගේ සුරතල් පුතු ඇකයෙන් උදුරාගත් නරුමයකු විලසිනි.

නමුදු ඔහුවත්, කිසිවෙකුවත් මගේ ව්‍යායාමය වටහාගෙන නොමැති වී ඇත. මෑණියන් පවා දැන් මා දකිනුයේ ඇගේ සුරතල් පුතු ඇකයෙන් උදුරාගත් නරුමයකු විලසිනි. අසීමිතව ආදරය කල සොහොයුරාගේ හැරයාමත්, දයාබර මෑණියන්ගේ විලාපයත්, ශෝකයත් අතරම නැඟෙන මා පිළිබඳ නොපැහැදීම ආදී දහසකුත් එකක් දෝමනස්සයන් අතර හුදෙකලාවී මම කඩුල්ල අසලටවී වැටහිර කණුවේ හිස ගසාගෙන සිටින්නෙමි.

උඹේ හිතේ හයියට හිතුවක්කාරකමට උඹ අපිව දාලා රස්සාවක් හොයාගෙන ගියාට මලේ, මං දන්නව උඹේ හැටි, ගමේ ගොඩේ කරක්ගගහ ටැග් ගැහුනට උඹට හයිය නෑ රස්සාවක් කරන්න. රස්සාවක් හොයාගන්න. නගරේ හක්කලන් වෙන්න. මට දරාගන්න බැරි ඒකයි මලේ. මං දන්නෑ උඹ කොහේ කොහොම වැටිල ඉන්නවද කියලා. උඹ කොහේ නිදාගන්නවද, හිරිකඩේ කඩ පිලක උඹ ගුලි ගැහිලද, නැත්නම් කපටි ලොරි මුදලාලියෙකුගෙ ගෝලයෙක් වෙලාද, ගමෙන් ගමට, නගරෙන් නගරෙට, උඹ ලොරි බාග වල එල්ලි එල්ලි නිදිකිර කර යනව වත්ද. මෙහෙම ගිහින් උඹ කරවල වාඩියකතවත් පැටවෙයිද. මං දන්නෑ මලේ, මගෙ ඔලුව කචල් වෙලා උඹ ගැන හිතලම.

ඇයි උඹට නොතේරුනේ මං උඹට ආදරේ කරපු තරම, උඹ ගැන මං හිතපු තරම.උඹේ හොඳටම උඹට මං තරවටු කලාට, උඹ අපිට ඇයි මෙච්චර් දඬුවමක් දුන්නේ. උඹ ගැනම හිතල අම්මා දැන් ලෙඩවෙලා. ඒ මනුස්සයා දවස්ගානකින් බත් ඇටයක් කාල නෑ, කහට උගුරක් බීලා නෑ. ඇයි මල්ලියේ උඹ අපිට මේ තරම් වේදනාවක් දුන්නේ.

මං මේ හිතන දේවල් කොහොමද උඹට කියන්නේ. හිතිවිලි හුලඟෙ පාවෙලා හරි උඹේ කනට යනවනම්. හීනෙන් හරි ඉන්න තැනකට උඹට මේව ඇහෙනවනම්.. අනේ මලේ, උඹේ අයිය උඹට වඳින්නම්, අයියට සමාවෙලා, අම්ම ගැන හිතල වරෙන් ගෙදර...



"පින්නේ රැයේ කඩ අගුවක නිදනවද
ලොරියක ගෝනි මත්තේ නිදි කිරනවද
කරවල වාඩියක සිරවී තැවෙනවද
මල්ලියෙ කොහේ කොතැනක නුඹ සිටිනවද

අම්මා විඳ දරාගෙන හැම දුක් ගැහැට
නැති බැරි වුණත් දුක දුන්නේ නැහැ නුඹට
බැරි වුණු නිසා මට අකුරෙන් ජය ගන්ට
දහ දුක් ඉහිලුවේ නුඹ තැනකට ගන්ට

ඉස්කෝලේ නොයා කැලයට පැන්නාට
තරවටු කලේ ගුරු දෙගුරුන් නුඹෙ හොඳට
ගහ බැන්නේ හදාගන්නයි මං නුඹට
හිතුවේ අනේ ඇයි ඒ හැම වැරදියට

නුඹ නැති දා ඉඳන් අම්මා හැඞු කඳුලෙන්
ඔත්පල වුණා අප්පච්චී සංකාවෙන්
ගේ මළ ගෙයක් වාගෙයි අද නුඹ නැතියෙන්
හනිකට වරෙන් ඉගිලී ඉන්නා තැනෙකින්"

පද රචනය: කුලරත්න ආරියවංස
සංගීතය: රෝහණ වීරසිංහ
ගායනය : සුනිල් එදිරිසිංහ




දැන් අහමු ගීතය..





(Pinne Raye - Sunil Edirisinghe)



***************************************

සටහන...


දිගු කාලාන්තරයකට පසු නැවත වතාවක් ඔබ වෙත ගී සංවේදනාවක් ගෙන ඒමට තරම් මම යලිත් වාසනාවන්ත වුනෙමි. පසුගිය පෝස්ටුවකින් මම ලිපි සියයේ කඩයිමට ලඟා වූ බව ඔබ සමඟ පැවසුවෙමි. ඒ මොහොතේ දයාබර සිංදු ඇනෝ කීවේ, එකසිය එක්වෙනි පෝස්ටුවෙන් හෝ කියවන්නට දෙයක් ලබා දෙන ලෙසයි. ඇත්තෙන්ම සියයේ කඩයිමට ලඟා වූ පසුව මා එය ඔබ හට දැනුම් දුන්නේ එකසිය එක්වෙනි පෝස්ටුවෙනි. කෙසේ වුවද මෙලෙස එකසිය දෙවන පෝස්ට්ටුව සමඟින් මා හට යලිත් ඔබ වෙත ගී සංවේදනාවකින් ලඟා වීමට මෙලෙස හැකියාව ලැබුණි. පසුගිය කාලය පුරාවටම නිබඬ මා ලඟම හිඳින්මින්, නිරතුරුවම ලිපියක් ලිවීමට මා දිරිමත් කරමින්, මා සමඟම සිටි මගේ දයාබර සහෘදයෙනි... ඔබට මාගේ නමස්කාරය...

එමෙන්ම මෙවෙලෙහි සඳහන් කලයුතු තවත් විශේෂතම කරුණක් නම්, මෙම ගීතය මා හට ලබා දෙමින් මීට කලකට ඉහතදී මේ සඳහා සංවේදනාවක් ලියමු යැයි යෝජනා කරන ලද්දේ අපේ දයාබර පත්තර මල්ලී බ්ලොග් රසවතායි.. එනිසා මේ මොහොතේ ඔහුවද දයාබරව සිහිපත් කරන්නෙමි...






Wednesday, April 22, 2015

•බොල්පින් වෑහෙන වේලාවේ

"තවත් නිවහනෙක ගිමන් නිවන තුරු
ඔබ සිහියට එන්නේ..."





එකම හඬින් දිය ඇල්ලක් සේ වතුර මලෙන් හිසට වැටෙන ජල කඳට නිදැල්ලේ ගලා යාමට ඉඩදෙමින් මා ඔහේ හිටගෙන උන්නේ සිරුර නහවමින් ගලා යන ජල කඳින් මගේ මහන්සියද සේදී යාමට ඉඩහරිමිනි. සිත්සේ නාගෙන තුවාය දවටාගෙන නාන කාමරයෙන් එලියට එනවාත් සමඟම කාමරයේ දොරට කිසිවෙකු තට්ටු කරන හඬ ඇසුණු හෙයින් හිස ගසා දමමින්ම "කවුද.." යැයි විමසුවෙමි.

"මහත්තයා මං තිලක්.."

පිලිවදන් දුන් සැනින් මම දොර අඩවලේට හරිමින් ඔලුව පමණක් පිටතට දමා එබුනෙමි.

"මහත්තයා භාණ්ඩෙ ගෙනාව. පහල ඉන්නවා එවන්නද?"

මගේඅ අවශ්‍යතාවය දන්නා හෙයින් මා යමක් විමසීමට පෙරම ඔහු එලෙස පැවසීය.

"හා.. එවහං එවහං.. කොහොමද කෑල්ල..?"

"ගින්දර වගේ.. ඔහොම ඉන්නකො පොඩ්ඩක් මං එවන්නම්.."

එලෙස පවසා ඔහු සැනින් නික්ම ගියේය.

කායිකව සහ මානසිකව තරමක් තෙහෙට්ටුවෙන් පසු වූ මා හට සුකුමල දෑතක සියුමැලි පහසක අවශ්‍යතාවය වඩ වඩාත් දැනෙන්නට විය. ඉඳුරන් දමනය කල නොහැකිව කෑ මොර දෙන්නට විය. එනිසාම දොර අගුලු නොදමාම විත් සුසිනිදු සයනයෙහි තුවාය පිටින්ම වාඩිවුනෙමි. ගතවන මිනිත්තුවක් කල්පයක් සේ හැඟෙන්නට විය. සුපුරුදු දින චර්යාවෙහි ගෙවෙන තවත් සුපුරුදු මොහොතක් වුවද ඒ දින චර්යාවේ ඒකාකාරි නොවන එපා නොවන එකම දෙය වූයේ මෙයයි. දැන දැනම වරදෙහි බැඳෙන මිනිස් ආශාවන් කෙතරම් විශ්මයජනකද. නමුදු මේ ඒ පිළිබඳව සිතීමට වෙලාව නොවෙයි.

මිනිත්තු කිහිපයක් ගතවිය. ඉතා සෙමින් තුන් වරක් දොරට තට්ටු කරන හඬක් ඇසිණ. නිම් හිම් ගිය ආශාවන් උතුරා යන්නට විය.

"එන්න.."

පැවසූ සැනින් දොර මදක් විවර විය. මොහොතකට පසු කාමරය තුල වූයේ වයස විසි පහක පමණ යුවතියකි. ඇය ඉතා රූමත් එකියක නොවුන මුත් ඉතා ආකර්ෂණීය එකියක වූයේය. ලාවට තෙත්ව තිබූ තරමක් කෙටි කේෂ කලාපය නිදැල්ලේ කඩා හලාගෙන උන්නේ ඈ වඩාත් නැවුම්ව තබමිනි. දණහිස තෙක් වූ ගවුම තුලින් ඇගේ ප්‍රිපුන් සිරුර වඩාත් කැපී පෙනුනේ මා ඉඳුරන් තව තවත් අවධි කරමිනි. රාගයෙන් මත්ව ගිය මා තවත් මොහොතකට පසු ඇයව අතින් ඇද ඇඳ මත හිඳුවා ගත් බව මතකය.

************************************************************************************************

ජීවිතයේ කලාතුරකින් මිනිසෙකුට ලැබෙන සුමිහිරිතම වෙහෙසකාරී පැය කිහිපයකට පසුව මම ඇගේ සිරුර මත්තෙන් නැඟී සිටියෙමි. තවමත් අඩවන්ව ඇති දෙනෙත් සමඟින් ඇගේ නිරුවත් ළමැද වේගයෙන් උස් පහත් වෙනු මට දක්නට ලැබුනි. නැවත පහත්වී ඇගේ මදක් විවර වූ දෙතොල් මත මගේ දෙතොල තබා මම සෙමෙන් ඇඳෙන් බැසගියේ ඇගෙන් නික්මුනු සියුම් කෙඳිරියක්ද සමඟිනි.

කිලිටි වී ගිය දහදියෙන් පෙඟුනු සිරුරට නැවුම් ජල පහස ලැබ දෙමින් සියලු ඉඳුරන් සන්සුන්ව ඇති තෘප්තිමත් මොහොතක සුවය උපරිමයෙන් විඳිමින් සිත් සේ මම නාගතිමි.

නාන කාමරයෙන් පිටතට පැමිණෙන විට ඇය කෙටි ගවුමක් හැඳ ඇඳෙහි කොනක වාඩිවී සිටියාය. මා දෙස මොහොතක් බැලීමට හිස එස වූ ඈ, මද සිනහවක් මවෙත පා නාන කාමරය දෙසට ඇවිද ගියාය. ඇවිද යන ඇගේ සිරුරෙහි සුන්දරත්වය වීත රාගීව විඳගනිමින් ඈ නානකාමරයට ගොස් දොර වසා ගන්නා තුරු මම ඈ දෙස බලා සිටියෙමි.

කෙටි කලිසමක හැඳ යලිත් ඇඳට ගොඩවූ මම ඈ පිලිබඳ මෙනෙහි කලෙමි. මේ මා ඇසුරු කල පලමු ගණිකාව නොවේ. එමෙන්ම මේ කී වැනි එකියදැයි කීමට තරම් හැකියාවක්ද මට නොමැත. ඩිලිවරි රස්සාව පටන්ගත් දා සිට මම අනන්තවත් ළඳුන්ගේ පහස මෙසේ ලැබ ඇත්තෙමි. නමුදු ඒ සියලු ළඳුන්ට වඩා යම් වෙනසක් ඈ සතුව පවතී. විවිධ වෙසඟනන්ගේ විවිධාකාරවූ පහස ලබා ඇතිමුත් අද මැගෙන් ලබා ගත් සුවය වෙන කිසිදු වෛශ්‍යාවකගෙන් මා ලබා නොමැත. එය හුදෙක් ලිංගික තෘප්තියක්ම නොවන්නේය. එය මේ යැයි කියා මට විස්තර කල නොහැකිමුත්, විවාහකයෙකු තම දයාබර බිරිඳගෙන් හෝ, පෙම්වතෙක් තම සෙනෙහෙවන්තියගෙන් හෝ ලබන, විඳින සිරියහනේ සුන්දරත්වය මෙය වීමට හැකි යැයි මට සිතේ. මැය කාගේ හෝ බිරිඳක්ද, පෙම් වතියක්ද යන්න මම නොදනිමි. ඇය කාගේ කවුරුද කොහේ සිට පැමිනිණියාද යන්න මා නොදන්නා මුත් ඈ මට නිකම්ම නිකම් ගණිකාවක් ලෙස නොහැඟෙන බව පමණක් මසිතට හැඟෙයි.

නාන කාමරයේ සිට සුදු පොරෝනයකින් සිරුර වසාගෙන පැමිණි ඈ, මා සිටි යහනට අනාරාධිතවම පැමිණියේ මංගල මධුසමයේ මනාලියක විලසිනි. තවත් සුන්දර නිමේෂයන් රැසක උරුමය මවෙත පවරගනිමින් බොහෝ වේලාවක් ඈ සමඟ ආලිංගනයේ යෙදුන මා පාන්දර එකට පමණ ඈ තුරුලෙහිම නිදි දෙව් දුව වැළඳ ගතිමි. පෙම්වතියක් සේ, බිරිඳක් සේ ආදරයෙන් ගණිකාවක් බදාගෙන මා මේ නිදාගන්නා ලද්දේ ජීවිතයේ පළමුවෙනි වතාවටයි. අන් හැම දිනෙකම අරමුණ සඵල වී කර්තව්‍ය නිමාවූ පසු යහනේ තාවකාලික සහකාරිය දෙස පිලිකුලෙන් බලා අනෙක් පස හැරී නිදාගන්නා මෙමා, අද මෙම ආගන්තුක යුවතිය තුරුලු කරගෙනම නින්දට වැටීම පිළිබඳව මම මා ගැනම මවිත වුනෙමි. නමුදු ඇගේ සෞන්දර්‍ය, ඇගෙන් මා ලැබූ අපමණ සුවය, වේසඟනකට එහා ගිය ඈ තුල වූ ප්‍රේමාන්විතබව මේ රැයෙහි මා තාවකාලික පෙම්වතෙකු බවට පත්කර ඇති බව තේරුම්ගතිමි.

************************************************************************************************

මා අවධිවන විට උදෑසන හය පසුවී තිබින. පසුගිය රැයෙහි මා සමඟ වෙහෙස වූ සුන්දරාවිය තවමත් මා පපුතුරෙහු හිස තබාගෙන නිදි සුව විඳිමින් සිටී. ජනෙල් වීදුරුවට එපිටින් හිමිදිරි වැහි පොදක් වැටෙනු නැඟෙන ලා හිරු රැස් මැදිනි මම දුටුවෙමි. අලුත විවාපත් යුවලකටනම් මේ කදිම උදෑසනක් වනු ඇත. ඔවුන් ඔවුනොවුන්ට තව තවත් තුරුලු වී හිඳිනු ඇත. එහෙත් මම එවන් පෙම්බරෙකු හෝ මැය එවන් පෙම්වතියක නොවේ. ඈ හුදෙක් ඇගේ රාජකාරිය ඉටුකරයි, මම ඇගේ සේවාදායකයා වෙමි. ගනුදෙනුව එතනින් හමාර වේ. නමුත් එය එසේ සිදුවිය හැකිද, අතිශය සියුම් මානවීය හැඟීම එලෙස විකිණීමට හෝ මිලට ගැනීමට හැකිද. මම වේගයෙන් හිස දෙපසට ගසා ගතිමි. කවදාවත් නොමැතිව මා මේ සිතන්නේ මොනවාද. අන් දිනයකනම් මේ වනවිටත් මා සමඟ යහන් ගතවූ ගැහැණිය මේ වනවිටත් නික්ම ගොසිනි. මා පෙර දින රාත්‍රිය අමතක කොට අලුත් දිනය හඹා යාමට කඩිමුඩියේ සූදානමිනි. නමුත් අද මා ආගන්තුක ගැහැණියක් ලයෙහි හොවා ගෙන හිමිදිරි පාන්දරක යහනකට වී මේ සිතන්නේ මොනවාද.

නිරායාසයෙන් මම ඇය දෙස බැලීමි. ඇගේ මුහුණෙහි වෛශ්‍යාවකගේ පෙනුමක් කිසිසේත්ම නැත. සියුම් මදහසක් වන් සුන්දර වතකින් ඈ නිදා සිටී. ඇගේ සිරුර හුස්ම ගන්නා තාලයට සෙමින් උස් පහත් වෙයි. ඇය මලක් මෙන් පියකරුය. ඒත් ඒ පියකරු බව ට අයිතිකාරයෙකු නොමැත. මමද මල් වත්තට පැමිණි අමුත්තෙකු පමණි. කෙතරම් ලස්සන වුවද නෙලාගැනීමට නොකැමති වන මල්ද මෙලෙස පිපී හිනැහෙයි. සැවොම ඒ මල්වල සුවඳ ඉඹ, රොන් උරා නෙලා නොගෙනම නික්ම යති. මල්ද ඒ බමරුන් වෙනුවෙන් පෙති විදා පිපී හිනැහෙයි. එනිසා මා දැන් මල අතැර යා යුතුවෙයි.

නමුදු ඇය අවදි කිරීමට මහා ලෝබකමකින් මසිතට පෙලෙයි. එනිසාම ඉතාම සෙමින් මා බඳවටා එතී තිබූ ඇගේ සුරත ඉවත් කොට ඈ හිස සෙමෙන් කොට්ටය මත තබා මම ඇඳෙන් නැඟිට්ටෙමි. තරමක් සුසුමක් හෙලා හිස තව තවත් හරිබරි ගස්සාගෙන ඈ යළිත් නිදනු මම දුටුවෙමි. හනිකට නානකාමරයට වැද මුහුණකට දොවාගත් මම හැඳ පැලද ගතිමි. අද දවස තුල මා බොහෝ දුර යා යුතුය. ආවරණය කල යුතු ප්‍රදේශය බොහෝ විශාල විය. එනිසා කඩිමුඩියෙන් හැඳ පැලඳගත් මා නික්ම යන්නට මොහොතකට පෙර සයනය මත වූ සොඳුරු මුවැත්තිය දෙස යළිත් වරක් බැලීමි. ඈ තවමත් සුව නින්දකය. හදිසියේ හිතට ආ හැඟීමකට අනුව සාක්කුවෙහි හූ පෑන සුරතට ගත් මම කොල කැබැල්ලක මෙලෙස සටහනක් තැබීමි.

'මම යනවා. ඔයා ඇහෙරවන්න ලෝබ හිතුන මට. මේ කඩදාසියත් එක්ක මම ඔයාට පොඩි මුදලක් තියල යනවා. ඒක හොඳ හිතින් දෙන පොඩි තෑග්ගක්. "සල්ලි" නෙවෙයි.'

කවදාවත් නොකරපු දෙයක් මම එලෙස සිදුකලෙමි. රුපියල් පන්දහසක මුදලක් මම ඇය වෙනුවෙන් තැබුවෙමි. ඒ ඈ මා සමඟ ගතකල වටිනාකමෙහි 'මිල' මෙන් කිහිප ගුණයක මුදලකි. නමුත් ඒ හුදෙක් ගෙවීමක් නොවීය. වෙලාවෙ හැටියට මට ඇයවෙනුවෙන් කල හැකි වූ එකම දෙය එය පමණකි. තවත් වරක් ඈ දෙස බැලූ මම සැනකින් කාමරයේ දොර වසාගෙන එලියට පැමිණියෙමි.

පහල තට්ටුවට පැමිනි මා කවුන්ටරය වෙත ගොස් මා නවාතැන් ගත් කාමරයට අදාල බිල්පත ගෙවා දැමූයෙමි.

"රූම් එකේ ලේඩි කෙනෙක් ඉන්නවා. එයා තාම නිදි. තවටිකකින් ඇහැරෙයි. එයාට බ්‍රේක්ෆස්ට් රෙඩිකරන්න. එයාට කියන්න මං බිල් සේරම සෙට්ට්ල් ඩවුන් කරල තියෙන්නෙ කියලා."

කවුන්ටරයේ සිටි පුද්ගලයා විස්මයෙන් මා දෙස බලා සිටියදී ඉතිරි මුදල්ද ලබා නොගෙන මම වේගයෙන් එතැනින් නික්මී මිදුලට පැමිණියෙමි. මා එලියට පැමිණෙන විට මගේ රියදුරු වීරරත්න සහ සහායක තිලක් වාහනය සූදානම් කොටගෙන මා එනතුරු දුම්වැටියක් උරමින් සිටිනු දක්නට ලැබුනි. මා විගසින් පැමිණ ලොරියෙහි ඉදිරිපස දොර හැර නැඟ වාඩිවෙන විට වීරේද සිගරට් කොටය වීසි කොට පැමිණ රියදුරු අසුනේ වාඩි වී වාහනය පණගන්වන ලදි. ඒ සමඟම තිලක්ද ලොරියේ පසු පස කැබිනයට ගොඩවූයේ, "කොහොමද මහත්තයා, කෑල්ල හොඳයි නේද.." යැයි මගෙන් ඇසීය.

අවේලාවේ, අනවශ්‍ය ලෙස ඔහු නැඟූ ප්‍රශ්නයට මසිත පැන නැගි සියුම් කූපය සමඟින් මම ඔහුට ඕනිවට එපාවට මෙන් "හොඳයි.." යැයි පිළිවදන් දුනෙමි. 

නමුදු ඔහුගේ පැනයෙන් මසිත යලිත් ඈ කෙරෙහිම බැඳී ගියේය. සමහර විට දැන් ඇය අවධිවෙලා ඇති. ඈ මා සොයනවා ඇත්ද. මගේ සටහන සහ මුදල් පිළිබඳ ඈ කුමක් සිතනවා ඇත්ද. නිකම්ම නිකම් ඩිලිවරි කාරයෙකු වූ මා පිළිබඳ සෙවීමෙන් ඈට කුමන පලක් අත්වෙයිද. ඇගේ මෙහෙය නිමා වූ පසු ඈ මා පිළිබඳ සොයාවි යැයි මා සිතා පලක් නොමැත. මා සිතෙහි වන මේ පෙරලිය ඈ සතුව තිබිය නොහැකිය. සේල්ස් රෙෆ් වරයෙකු ලෙස මා ගෙවන්න අහිකුණ්ඨක ජීවිතය පිළිබඳ ඈ නොදන්නවා ඇත. ඈ පිළිබඳ මේ සොඳුරු මතක අද රෑ නවාතැන් පොල වෙත යනතෙක් පමණක් මසිත රැඳෙනු ඇත. එමෙන්ම මා පිලිබඳ මතකයද ඇය සිතෙහි ඇගේ මීළඟ පාර්භෝගිකයා හමුවන තෙක් පමණක් පවතිනු ඇත. එනිසා ඇය පිළිබඳ මතකය මා දැන් අමතක කල යුතුව ඇත. මම මගේ 'උඩු සිතට' එසේ නියම කලෙමි."

"වීරෙ, අද අපි අවිස්සාවේල්ලට යනකල් යන්නොනි. සෙත් සුව ෆාමසියට බඩු දැම්මම අපි අදට නවතිමු. ද හැවන් ගෙස්ට් එකේ මං කාමර දෙකක් බුක් කලා."


බොල්පින් වෑහෙන වේලාවේ
ඔබ ගෙන් සමු ගෙන යා යුතු වේ
තාමත් ඔබ ඇත සුව නින්දේ
ඒක යි මා නොකියා යන්නේ

ගැල පිට නැගලා ඈත ගම් බලා
පියමන් කර යන්නේ
තවත් නිවහනෙක ගිමන් නිවන තුරු
ඔබ සිහියට එන්නේ

ඔබ අවදි ව මා සොයනු එපා
ඈත යි මා ඉන්නේ
තවලම්කරුවෝ කවර දාක දෝ
එක ම තැනක ඉන්නේ


පද රචනය : සරත් ප්‍රනාන්දු
සංගීතය හා ගායනය : රූකාන්ත ගුණතිලක








(Bol Pini Wehena Welawe - Rookantha Gunathilaka)




Monday, February 9, 2015

•සොඳුර නුඹ ලිහිණියක


"අහිංසක අප දෙදෙනෙ තටු කඩා මේ ලෙසින 
සිදීගිය ගඟ දෑල හැර දැ‍මූවේ කව්ද ...?"






දයාබර හේමා,

ඔන්න ඔයාට පොරොන්දු වුන විදියටම ඔයාට ලියුමක් ලියනවා. හේමා මං අද හවස දෙකහමාර විතර වෙද්දි මෙහෙට ආවා. කෙලින්ම මං ඉස්කෝලෙට ආවේ. බොහොම පුංචි ඉස්කෝලයක් හේමා. මං විදුහල්පති තුමාව මුණගැහුනා. ඉස්කෝලෙ වරදක්නම් නෑ. හරිම අහිංසක ළමයි ඉන්න ඉස්කෝලයක්. දෙකට ඉස්කෝලෙ ඇරලා, ඒත් මං යනකොටත් ළමයි කිහිප දෙනෙක් හිටියා. ඉස්කෝලෙන් කිලෝමීටර් දෙකක් විතර ඈති පරණ ගුරු නිවාසයක් තියෙනවා. ගෙයක් හොයාගන්නකල් මට ඒකෙ ඉන්න පුලුවන්. ඒක ටිකක් ජරාවාසවෙලා. ඒත් මාව එතනට එක්ක ආපු ළමයි තුන්දෙනා මට උදවු කලා මෙතන අස්පස්කරගන්න. හවස් වෙනකල් වැඩකලා. දැන් නම් ඉවරයි. ළඟ ළිඳකින් නාගත්තා. අදට මං පාන් රාත්තලක් ගත්ත කඩෙන් පරිප්පු හොද්දකුත් එක්ක. ඒත් හෙට ඉඳන් උයන්න පටන්ගන්න ඕනි.

ඒක නෙවෙයි හේමා. අද මට ඔයා නැති අඩුව වෙන කවරදාකවත් නැතිතරම් දැනෙනවා. වෙනදට මං ගෙදරට එනකොට ඔයා ආදරෙන් මං ළඟට එනව දුවගෙන. ඔයාගෙ මූණ දකිනකොට හිතේ මොන කරදරේකින් ආවත්, ඇඟට මොන මහන්සියක් දැනුනත් ඒ හැමදේම අතුරුදන්වෙලා යනවා. ඔයා මට ආදරෙන් හදල ගෙනත් දෙන තේ කෝප්පෙ මාව ආයෙත් පණගහල ගන්නවා. ඒත් අද.. ඔයා මගෙන් කොච්චරනම් ඈතකද.

ඊයෙ රෑ ඔයාට මං මොන පණ්ඩිතකම් දෙඩුවත් දැන් මටත් හිතෙනවා අපිට මේ එකපාරටම මොකද්ද උනේ කියලා. තාමත් මේ ට්රාන්සර් එක මට හීනයක් වගේ. ඇත්තටම අපිට මේ මොකද්ද උනේ හේමා?

හේමට මතකද මං දවසක් සක්වා ලිහිණියන්ගෙ කතාව කියල දුන්නා. මං අර කිව්වෙ, සක්වා ලිහිණි කියන කුරුල්ලො හැම වෙලේම කිරිල්ලියි කුරුල්ලයි ඉන්නෙ එකට, ඒත් ඒ දවල්ට විතරයි. මොකද්දෝ අවාසනාවන්ත හේතුවකට උන් දෙන්නට රෑට වෙන් වෙන්න වෙනවලු. ඒකත් මහ පුදුම වෙන්වීමක්, පහුවදා එළිවෙනකල් දෙන්නට එකම ගාඟක දෙපැත්තටවෙලා මූණෙන් මූණ බලාගෙන හඬන්න වෙනවලු, හඳත් එක්ක උදාවෙන රාත්රිය ගෙවිල ගිහිල්ලා ආයෙත් ඉරත් එක්ක පහුවදාට අලුත් දවසක් උදාවෙනකල් උන් දෙන්නට මේ විදියට වෙන්වෙලා අඬන්න වෙනවා. මතකද, ඒ කතාව දවසක් මං ඔයාට කිව්වා.


අද, අපි දෙන්නත් ඒ සක්වා ලිහිණියෝ වගේ වෙලා නේද හේමා. අපිත් අපෙන් වෙන්වෙලා. අපිට අපි ළඟම ඉන්නා පුලුවන් කම තිබුනත් එහෙම කරගන්න බැරි විදියට අපිට ඈතට වෙලා හූල්ලන්න වෙලා. එදා සාහිත්යයෙනම් මේ කුරුලු ජෝඩුවට මේ අපරාදෙ කලේ රාත්රියට ලෝකෙට ආරාදනා කරපු හඳ. හඳ තමයි රාත්රිය ගෙනත් ලිහිණින්ව වෙන්කලේ. ඒත් අපිව වෙන්කරපු වරදට අපිට බෑ හඳට දොස් කියන්න. අපි වෙනුවෙන් හඳ මොනා කරන්නද. වැරදිකාරයෝ හඳ තරම් සෞම්ය නෑ. අපි දෙන්නගේ තටු කපල අපි මෙහෙම අසරණ කලේ කවුද, මොන හේතුවකටද.

මේ ගෙවෙන්නෙ අපේ ජීවිතවල දුශ්කරම කාල පරිච්ඡේදය. හරිම කටුක කාලයක් අපිට. ඒත් මේ විරහ වේදනාවන්, මේ කරදර, තානිකම දරාගෙන අපිට ඉන්න වෙනවා. ඒ අපේ ජීවිත වලට අපි ආදරේ කරන නිසා. අපි හිත් හදාගමු, මේ හැම දෙයක්ම තාවකාලික දේවල් කියලා. හේමා, මං මුලිනුත් කිව්ව වගේ හිතුව තරම් ලේසි නෑ මට ඔයාගෙනුයි දුවගෙනුයි මෙහෙම ඈත්වෙලා ඉන්න එක. ඒක හරිම, හරිම අමාරු දෙයක්, හැම තත්පරේම මට මතක්වෙන්නෙ ඔයාල දෙන්නා. සමහර විට මේ අපි අපෙන් වෙන්වෙලා ගෙවන මුල්ම දවස වෙන්නැති, ටික දවසක් යනකල් මේකට හුරුවෙන්න අමාරුවෙයි. මේ අඩුව මටත් වඩා ඔයාට දැනෙන බව මං දන්නවා.

ඉතින් හේමා, දූ මොකද කියන්නේ? තාත්ති ගැන අහනවද, එයාට තවම තේරුමක් නැති නිසා ඉඳී ඔහොම. ඒත් තාත්ති ගෙදර එන්නෙ නෑ කියල දැනුනනම ගොඩක් දුක හිතෙයි. අපි එයා වෙනුවෙන්ම ඒ කටුකබව දරාගමු. මොකද, අපිට මේ වෙච්ච දේ එයාගෙ ජීවිතේ කවදාවත් එයාට වෙන්න දෙන්න හොඳ නෑ. ඒ වෙනුවෙන් අපි එයාට මීට වඩා හොඳ අනාගතයක් හදල දෙන්න ඕනි. අපේ තටු කපල දාල අපිව මෙහෙම හිරකලත් අපේ දරුවන්ට සීමා මායිම් නැතිව පියාඹන්න ලෝකයක් හදල දෙමු.  නිදහසේ පියාඹන විදිය අපි එයාලට කියල දෙමු.

මං කලිනුත් කිව්ව වගේ මෙහේ මොනතරම් දුෂ්කර උනත් හිත හොඳ මිනිස්සුන්ගෙන් නම් අඩුවක් නෑ වගේ හේමා. ඒ මිනිස්සුන්ගෙ අව්යාජ හිනාවම ඇති. කොල්ලො තුන්දෙනා තමන් වෙනුවෙන් ආව සර් කියල මං වෙනුවෙන් පුදුම මහන්සියක් උනේ හවස්වරුවම. නිදාගන්න පුලුවන් විදියට හාදාගත්තත් ස්ථිර පදිංචියටනම් මේක සුදුසු නෑ හේමා. පායන කාලෙ නිසා හොඳයි, වහලෙන් අහසෙ තරුත් පේනවා, වැහි කාලෙක එහෙමනම් ඉන්න බෑ. දොර ජනෙල් පවා සේරම අබලන්. ඒ නිසා වැහිකාලෙ එන්න කලින් ඉක්මනට කුලී ගෙයක් හරි බෝඩිං කාමරය්ක් හරි හොයාගන්නම ඕනි.

මෙහෙට කරන්ට් එහෙමත් නෑ, මේ ලියන්නෙත් හවස කඩෙන් ගෙනාපු භූමිතෙල් ලාම්පුවේ එළියෙන්. මදුරුවෝ කපුටො වගේ. ඇඟේ හැප්පුනාම අපිත් වීසිවෙන සයිස්. මදුරු කොයිල් එහෙම නැතුව හිටියොත් උන් අපිව උස්සගෙනත් යයි. ඒකයි මං ඔයාලව එක්ක එන්න අකැමතිම උනේ මේ ගමනට. ඒත් හේමා මට ඔයාල දෙන්න නැතුව ඉන්න අමාරුයි. ඒ නිසා මං ඉක්මනටම හොඳ ගෙයක් හොයාගන්නම් කුලියට. හැමදේම හරියකට පිළිවෙලක් උනාම මං ඔයාල දෙන්නවත් මෙහෙට එක්ක ගන්නම්. දූ තාම පොඩියිනේ. එයා ඉස්කෝලෙ යන කාලෙ වෙනකොට සමහර විට අපිට ආයෙමත් ගමට මාරුවක් හදාගන්න බැටිවෙන එකක් නෑ. ඒක ඒ කාලෙට බලමු. ටිකක් දුර උනත් ඉස්කෝලෙට, මං ටවුන් එක කිට්ටුවෙන් ගෙයක් බලන්නම්. එහෙම නැතුව ඔයාල දෙන්නට මෙහේ ඇවිත් ඉන්න අමාරුයි. එතකල් ටිකක් ඉවසන්න හේමා.

දැන් නම් හුන්ගාක් නිදිමතයි. ඔයා දැන් සමහර විට නිදිත් ඇති දෝණිව තුරුල්කරන්, ඔයාල දෙන්නගේ උනුහුම මට දැනෙනවා වගෙයි. මොනාකරන්නද, ලොබකමින් මතක් කරනවා හැර. හෙට උදේම ඉස්කෝලෙට යන්නත් ඕනි, මට ගණන් පංතියකුයි, විද්යාව පන්තියකුයි දෙකක්ම ලැබෙයි වගේ. හෙට තමයි ඒ දේවල් පිලිවෙලක් කරගන්න වෙන්නේ.

ඔයාල දෙන්නට ඕනි හැම වියදමක්ම ම්න් එවනවා. ඒ නිසා හොඳින් ඉන්න හේමා. ටික කාලෙකින් මං ඔයාලව කොහොම හරි එක්ක එන්නම්. එතකල් මාසෙකට වතාවක් මං ගෙදර එන්නම්. හැම සතියෙම එන්න ගියොත් එතනත් ලොකු වියදමක්නේ.

එහෙනම් මං දැන් නවතින්නම්. හොඳින් පරිස්සමින් ඉන්න. අපේ දුවට මේ කිසිම දෙයක් දැනෙන්න තරම් තේරුමක් නෑ, ඒත් එයාට මං නැති අඩුව දැනෙන්න දෙන්නපා හේමා. එයාව ආදරෙන් බලාගන්න. මගෙ කෙලි පැටික්කිට මං ගොඩක්ම ආදරේ බව කියන්න. එයාවයි අම්මිවයි ඉක්මනට තාත්ති ළඟට ගන්න බව කියන්න. එයාට තේරෙන්නෙ නැතිවෙයි. ඒත් එයාට එහෙම කියන්න. මට ඔයාල දෙන්නව හැම මොහොතකම මතක්වෙනවා. දෙන්නට බුදු සරණයි.

මීට,
ඔයාගෙ ආදරණීය රත්නේ.




සොඳුර නුඹ ලිහිණියක රැයේ අඳුරට හඬන 
මමද ලිහිණියෙකු වෙමි කැඩුනු තටු පිරි මදින 

අහිංසක අප දෙදෙනෙ තටු කඩා මේ ලෙසින 
සිදීගිය ගඟ දෑල හැර දැ‍මූවේ කව්ද 
සඳට ‍දොස් නොකියන්න සඳ කුමක් කරන්නද 
බාල වයසින් මැරුණ ප්‍රේමයකි තරු එළිය 
‍ 

කටුක දුක් විරහ මැද අතරමං වී ගියද 
අපි තවම පෙම් කරමු අපේ ජීවිත වලට 
කියාදෙමු පියඹන්ට අපි අපේ පැටවුන්ට 
නිදහසේ තටු ලැබුණ කුරුල්ලන් වී දිනෙක 


ගායනය : ගුණදාස කපුගේ 
පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ 
සංගීතය : ගුණදාස කපුගේ




(Sondura Nuba Lihiniyeki - Gunadasa Kapuge)



ගීතය අහනවනම්..