Pages

Sandumal

Sandumal

Sunday, June 8, 2014

•ඈ මගේ නෙළුම් මල

"පුංචි පුතුනි බලාගන්න මගේ නෙළුම් මල..."



"පුතේ.. උදේ උඹට ලියුමක් ආවා. ඕං මං මේසෙ උඩ තියල ඇති."

මා නිවසට ගොඩ වන හඬ ඇසී අම්මා කුස්සියේ සිට කීවාය. එකත් එකටම මේ මං මඟ බලාගෙන උන්නු ලියමන වෙන්නෝනි.

"දිලීගෙන්ද අම්මේ?"

"ඒ දරුව තමයි මයෙ හිතේ. උඹේ නමට තිබුන නිසා මං කඩන්න ගියේ නෑ."

සිතූ පරිදිම ලියමන ඇගෙනි. ඔළිඳ ගෙඩි වැනි ඇගේ වටකුරු අත් අකුරින් ලියූ මගේ නම සහ ලිපිනයෙන්ම මම එය හඳුනාගතිමි.

***********************************************

                                                                      චමරියේ සිට ලියමි..
1997.08.13,


දයාබර ජයේ,

ඉතිං ඔයාගෙ සැපදුක් කොහොමද? මම කරදරයක් නැතිව ඉන්නවා. මේ පුංචි ඉස්කෝලෙ ඇත්තටම හොඳයි. මේ පැත්තෙ හරිම අව්‍යාජ මිනිස්සු ඉන්නෙ.චමරියේ ඉන්නෙ මමයි, මං වගේම මෙහෙට ආව තව ටීචර්ලා හතරදෙනෙකුයි. දෙන්නෙක් නම් එයාලගේ දුෂ්කර අවුරුදු පහේ අන්තිම අවුරුද්ද ඉන්නෙ. එයාල ඊළඟ අවුරුද්දෙ එයාලගේ ගම් පළාතට ට්‍රාන්සර් හදාගනී. අනිත් දෙන්නනම් මාත් එක්කම වගේ මෙහෙට අලුතින් ආපු අය. හැමෝම හරිම හොඳයි. ඔයා එදා මෙහෙ ආව වෙලේ බය වෙච්ච ලොකුම දේ මගේ ආරක්ෂාවනේ. ඇත්තටම මාත් මුලින් බයේ හිටියෙ. නොදන්න පළාත්නෙ. අනේ ඒ උනාට එහෙම කිසීම අවුලක් නෑ. මට මෙහේ කිසිම දුකක් කරදරයක් නෑ ජයේ. ඔයා පොඩ්ඩක්වත් බයවෙන්නෙපා. ඒ නිසා මං ගැන හිතල හිත කරදර කරගන්නෙපා. මොක්ද එහෙම උනොත් ඔයාගෙ ඉස්කෝලෙ ඉගැන්වීම කටයුතුත් ඔයා අතින් අතපසුවෙයි.දන්නවනේ මෙහේ වගේ නෙවෙයිනෙ ඔහේ අධ්‍යාපනේට තියෙන තරඟය හොඳටම වැඩියිනෙ. විභාගෙන් ඔයාගෙ පංතියේ ළමයිට ලකුණු අඩු උනොත් දෙමව්පියන්ගෙන් ඔයාට විසුමක් වෙන එකක් නෑ.

ඒ අතින් මේ පැත්ත ගැනනම් කතාකරල වැඩක් නෑ ජයේ. හරිම දුප්පත් මිනිස්සුන්ගෙ අහිංසක ළමයි ඉන්නෙ. ඒ අහිංසකයො හරිම අමාරුවෙන් අකුරක් ගැටගහගෙන ලියල මට පෙන්නුවාම මං උන්ගේ පොත් පිරෙන්න ලොකූ හරියක් දානවා. අනේ ඒ වෙලාවට ඒ කැලෑ මල් වල මූනෙ පිපෙන හිනාව දැක්කනම්.. එතකොටනම් කොයි වෙලාවකවත් මට හිතෙන්නෙ නෑ මං දුෂ්කර ඇවිත් දුක් විඳිනවා කියල. 

තියෙන හැම දුකක්ම අමතක වෙනවා මේ පුංචි පැටවුන්ගෙ හිනාව දැක්කම.

දුකක් කියල ඩිංගක් හරි තියෙන්නෙ මේ ගිනි කූටක අවුවට හුරුවෙන්න තියෙන අමාරුව විතරයි. අනික රෑට නිදාගන්නවත් බැරිතරම් රස්නෙයි. මං රෑ දහයටත් ඇඟ සෝදනවා. හැබැයි වැහි කාලෙටනම් මෙහෙ නුවර එළිය වගේ සීතලයිලු. ඒත් ආයෙ වැස්සක් මෙහෙට වැටෙන්නෙ ලබන නොවැම්බරේලු. එතකල් තමයි මේ පැත්තෙ හැම වේලිච්ච මූණක්ම බලන් ඉන්නෙත්.

මේ දරුවන්ගෙ දෙමවුපියන්ට එදාවේල කොහොමහරි ගැටගහගන්නෙකෙන් එහාට වෙන කිසිම ඉලක්කයක් බලාපොරොත්තුවක් නෑ ජයේ. ඒ මිනිස්සුන්ගේ එකම බලාපොරොත්තුව මේ කාෂ්ඨක පොලොවෙ හෙට දවසත් ජීවත් වෙන එක. ඒ නිසාම අපි ඉන්න නගරෙ වගේ මෙහෙ ජීවිතේ තරඟයක් වෙලා නෑ. මෙහේ අය ඉතාම සරලව පොළොවෙ පයගහල ජීවත් වෙනවා. හැබැයි ඉතින් ඒ නිසාම මේ අම්මලා තාත්තලාට දරුවන්ට උගන්නන්න තරම් කිසිම උවමනාවක් නෑ.

එයාලට එහෙම තේරුමකුත් නෑ. තමන්ගෙ කොල්ලට කැත්තයි උදැල්ලයි හුරුයි නම් එච්චරයි. දුවට පහලොවකට විතර සෑහෙන්න හොඳ බතක් උයල හේනට කෑම ටික අරින්න පුලුවන්නම්, අන්න එතනින් එයාලගේ ජීවන බලාපොරොත්තුව ඉටුවෙලා. ඒ නිසා අධ්‍යාපනයේ වටිනාකම එයාලට තේරුම් කරල දෙන්න හරි අමාරුයි. ළමයි සතියට දවසයි දෙකයි ඉස්කෝලෙ එන්නෙ. බැරිවෙලාවත් අපි සැරකරල ඒ ගැන ඇහුවොත් අනේ උන් අඬනවා. ආදරෙන් ළඟට අරං ඇහුවම කියනවා, ඊයේ කුඹුරු හෑවා, නියර බැන්දා, එහෙම නැත්නම් හේන් ගිනි තිබ්බා, මේ වගේ උත්තරයක් තමා මේ අහිංසකයො දෙන්නෙ.

එහෙමයි ජයේ මෙහෙ ළමයින්ගෙ ජීවිතේ.
උන් ඉස්කෝලෙ වැඩ කරන්නෙ රෑට පැල් රකින ගමන්. උන් අයනු ආයනු කියන්නෙ හේනට එන ගිරවු එලවන ගමන්. උන් කවි පාඩම් කරන්නෙ ඉරිඟු හේනෙ කුරුලු රෑන් එක්ක. රෑට අප්පොච්චි එක්ක පැල් රැකල ඇවිත් දවාලට නිදි කිරාවැටෙන මගේ හිඟන පැටවු ටික මං ආවට පස්සෙ හොඳට පාඩම් කරනවා. හේනෙ පැලේ පොල් අතු අස්සෙන් අහසෙ පේන තරු ගනන් කරල හරි උන් ගනන් ඉගෙනගන්නවා. මං උන්ට එකතු කරන්න, අඩුකරන්න උගන්නන්නෙ ගල් කැට වලින්. ඔයාට හිතාගන්නවත් පුලුවන්ද. ජයේ අපි කසාද බැඳල මාස දෙකක්වත් යන්න කලින් ඔයා මට මෙහෙට එන්න අවසර දුන්නා. එන්න ලෑස්තිවෙලා එදා මං ඔයාගෙ කකුල් දෙක අල්ලලා වඳිනකොට ඔයා මට හදවතින්ම ආශිර්වාද කරල මට කිව්ව කතාව නිතරම මතක්වෙනවා. "දිලී, ඔයා යන ඔය ඉස්කෝලෙ ඉන්නෙ හරිම අහිංසක දුප්පත් ළමයි. උන්ට හොඳට උගන්නන්න, උන්ගෙන් එකෙක් ඔයාට විශ්ව විද්‍යාලෙට යවන්න පුලුවන් උනොත් එදාට ඔයාට ලෝකයක් දිනුවා වගේ සතුටක් දැනෙයි. එදාට ඒ ගමත් මේ ලෝකෙට එකතුවෙයි.  නගරෙට සීමාවෙච්ච අධ්‍යාපනේ ඒ ගමටත් යයි. ඔයා උගන්නපු ඒ දරුවා කවදාහරි කැමපස් එකෙන් ඇවිත් ගුරුවරයෙක් වෙලා ඒ ගමටම එයි. ඒ විදියට ගුරු පරම්පරාවක් මේ ගමට උපදියි. ඒ ගමනෙ මුල්ම පුරුක ඔයා. ඔයා මේ කරගන්නෙ ලොකුම ලොකු පුණ්‍ය කර්මයක්. ඒ අහිංසක ඇස්වල බලාපොරොත්තුව ඔයා. අඬන්නැතිව යන්න මගේ රත්තරන්. උන් ඔයා එනකල් බලං ඉන්නවා.ඒ පුංචි බලාපොරොත්තු වෙනුවෙන් අපි මේ ටික කාලෙ ඉවසමු. ඔයාට වරදින්නෙ නෑ. මං ඔයා ළඟම ඉන්නවා." 

ඔයාගෙ ඒ වචන ටික මට මහා ශක්තියක් වෙලා මං ළඟම රැඳෙනවා. ඔයා ඒ කිව්ව දේ මං කොහොමහරි කරනවා රත්තරං.
එදා ඔයා මාව බලන්න ඇවිත් ගිය වෙලාව මං මතක තියාගෙන ඉන්නවා, ඔයා ඊළඟට එන දවස එනකල්. මේ පුංචි එවුන් ඔයාට හරි ආදරෙයි. නිතරම ඔයා ගැන අහනවා. උන් කියනවා ඔයාටත් මෙහේ එන්නලු. ගමෙන් අපි දෙන්නටම ගෙයක් හදල දෙන්නම්ලු අම්මලාට කියල. බලන්නකො ඉතින්. මුං පැහිල ඉන්න තරම්.

එහෙනම් ජයේ, මං දැනට නවතින්නම්. අම්මව ආදරෙන් මතක් කලා කියන්න. එයාව නිතර මතක්වෙනවා. ඊළඟට එන දවසෙ, අම්මට කියල අර රහම රහ බත් එකක් අරං එන්න හොඳේ.

පරිස්සමින් ඉන්න. ඔයාට බුදුසරණයි.

                                     මීට..,

                                                                    ඔයාගෙම සදාදරණීය දිලී..


***************************************

ලිපිය කියවා හමාරකල මා දිගු සුසුමක් හෙලූයේ නෙතට නැඟි සතුටු කඳුලක්ද සමඟිනි. ඇයව බැලීමට ගිය පසුගිය දිනය මට නැවත මතක් වේ. මා යන විට ඇය කුඩා ළමුන් ගොන්නක් රවුමට වටකරගෙන කහට ගහක් යට අලංකාර ගීයක් ගායනා කරමින් සිටියාය. ගෙවුනු සොඳුරුතම කාලපරිච්ඡේදයක් නිමාවත්ම මා ආපසු එන විට මේ පුංචි ටීචර් එයාගෙ පුංචි ගෝලයෝ රොත්තත් එක්ක මා නොපෙනී යනතුරු අත වැනූ හැටි.. මට මේ දැන් මෙන් මැවී පෙනෙන්නේ හිතට අමුතුම චමත්කාරයක් එක්කරමිනි.

"ඔයා කිව්ව වගේ අපි මේ අවුරුදු පහ මේ අහිංසකයන් වෙනුවෙන් ඉවසමු ජයේ. කාලෙ ඉක්මනට ගෙවිල යයි."

එදා මං ආපසු ඒමට සැරසුනු මොහොතේ මගේ දෙපා නැමද කඳුලු පිරි දෙනෙතින් ඔබ පැවසූ ආකාරය මට මතක්වෙනවා.

මගේ සිත නැවුම් උනුහුම් බලාපොරොත්තු ගොන්නකින් පිරිල යනවා. දිලී... අපි අවුරුදු පහක් ඉවසන්නෙ ඇයි. මේ පුංචි පැටවු ටික අවුරුදු පහකට පස්සෙ කොහොම දාල එන්නද. පුංචි ටීචර්ට මේ හැමදේම තනියෙන් කරන්න බැරිවෙයි, මොකද අපිට උන් වෙනුවෙන් කරන්න දේවල් කප්පරක් තියෙනවා රත්තරං. හෙටම ඔයාගෙ පුංචි පැටවු ටිකට කියන්න එයාලගේ අප්පුච්චිලාට කියල අපි දෙන්නටත් ඔහෙන් පුංචි පැල්කොටයක් අටවල දෙන්න කියලා!

ඒ පුංචි පැටවු ටික මං එනකල් ඔයාව පරිස්සමට බලාගනීවි..

එතකල්... ඔයයි, ඔයාගෙ ඔය පුංචි පැටවු ටිකයි වෙනුවෙන් මං මෙහෙම ලියන්නම්...


"ඈ මගේ නෙළුම් මල
රොන් සුවඳ බෙදා දෙන
වන්නි ගම් දොරක පීදෙන
පුංචි පැටව්නට

හේනට එන ගිරවුන්ගෙන්
අකුරු ඉගෙන ගෙන
අහසේ තරු ගණන් කරන
ගල්කැට ඇහිඳින
පුංචි පුතුනි බලාගන්න මගේ නෙළුම් මල

ඉල්මාසේ වැහි එනතුරු
නියගෙට වේලෙන
නෙළුම්මලට මල්යායට සීතල අරගෙන
වැවක් වෙන්න ඉඩ දෙනවද හීනෙන්වත් මට"

ගී පද – රත්න ශ්‍රී විජේසිංහ
තනුව - එච්. එම්. ජයවර්ධන
ගායනය – ගුණදාස කපුගේ




(Ae Mage Nelum Mala - Gunadasa Kapuge)




ප.ලි: පෝස්ට්ටුව වර්ණවත් කිරීමට යොදාගත්ත ඡායාරූපය ගැන කියන්න අමතක උනා. ඇත්තටම ඒ ගැන පසුතැවෙනවා. මේ ඡායාරූපය හොයාගත්තෙ ගාමණී චිත්‍රපටයේ රූප රාමුවක් අතරින්.